පසුගිය 26 වැනිදා උදෑසන හෙම්මාතගම තල්ගස්පිටිය ප්‍රදේශයේදී විදුලි කණුවක් කඩා වැටීමෙන් සහ විදුලි සැර වැදීමෙන් ලංකා විදුලිබල මණ්ඩලයට අනුයුක්තව සේවය කළ අයකු ජීවිතක්ෂයට පත්ව තිබේ. මෙලෙස මියගොස් ඇත්තේ හබලක්කාව, තල්ගස්පිටිය ප්‍රදේශයේ පදිංචිව සිටි 44 හැවිරිදි විවාහකයකු වන ගලේවලගේ කිංස්ලි වෝල්ටර් කිංස්ලි නමැත්තෙකි.
මාවනැල්ල විදුලිබල මණ්ඩල කාර්යාලයේ සේවකයකු වන මොහු අනතුර සිදුවූ දින සිය රාජකාරිය සඳහා වාර්තා කර නොතිබූ බව හෙම්මාතගම පොලිස් විමර්ශනවලදී අනාවරණය වී ඇත.මෙම අනතුර සිදුව ඇත්තේ දිප්පිටිය තල්ගස්පිටිය උඩුඅල්දූව නම් වෙල්යායේදීය. සිද්ධිය වූ අවස්ථාවේදී අදාළ ප්‍රදේශයේ නිවසක සිටි අයකුට කිසිවකු කෑගසන හඬක් ඇසී ඇති අතර, ඒ පිළිබඳව සොයා බැලීමේදී කඩා වැටුණු විදුලි කණුවක් සහ විදුලි සැර වැදී වැටී සිටින පුද්ගලයකු දැක ඒ බව පොලීසියට සහ විදුලිබල මණ්ඩලයට දැනුම් දී තිබේ. පොලීසිය එම ස්ථානයට ගොස් සිදුකළ මූලික පරීක්ෂණවලදී හෙළි වී ඇත්තේ, අදාළ පුද්ගලයා විදුලි කණුවට නැඟ සැපයුම් වයරයක් මෙන්ම ඇලුමිනියම් කම්බියක්ද කපා ඇති බවත්, ඒ සමඟම කණුව කඩා වැටී ඇති බවත්ය. එමෙන්ම කඩා වැටී තිබූ විදුලි කණුවේ හරහට ලීයක් ගැටගසා තිබූ බවද එහිදී නිරීක්ෂණය වී ඇත.
මේ සම්බන්ධයෙන් මාවනැල්ල දිසා මහේස්ත්‍රාත් අධිකරණයට කරුණු වාර්තා කිරීමෙන් අනතුරුව, වැඩබලන මහේස්ත්‍රාත් ආර්. එම්. දිලානි චන්ද්‍රිකා රණවන මහත්මිය විසින් සිද්ධිය වූ ස්ථානයට පැමිණ ස්ථානීය පරීක්ෂණයක් සිදු කරනු ලැබුවාය. ඉන්පසුව පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා මෘත දේහය කෑගල්ල ශික්ෂණ රෝහල වෙත රැගෙන යන ලෙස ඇය පොලීසියට නියෝග කළාය. කෑගල්ල කොට්ඨාස භාර සහකාර පොලිස් අධිකාරි වසන්ත අලහකෝන් මහතාගේ උපදෙස් මත, හෙම්මාතගම වැඩබලන පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක සමන් කුමාර මහතාගේ මෙහෙයවීමෙන් පොලිස් සැරයන්වරුන් වන පුෂ්පකුමාර (27198), අමරවංශ (45799), උපාලි (9045) සහ පොලිස් කොස්තාපල් නදීශ (86224) යන නිලධාරීන් විසින් මේ පිළිබඳව වැඩිදුර විමර්ශන සිදු කරනු ලබයි.
