ශ්‍රී ලංකා මුහුදු සීමාවට ඔබ්බෙන් වූ ජාත්‍යන්තර මුහුදේ ඉරාන නෞකා කිහිපයක් රැඳී සිටීම සම්බන්ධයෙන් කොළඹ පිහිටි ඇමෙරිකානු තානාපති කාර්යාලය විසින් ශ්‍රී ලංකා විදේශ කටයුතු අමාත්‍යාංශය දැනුවත් කර ඇත. මෙම නෞකාවන්ගේ ගමන් බිමන් පිළිබඳව මෙරට බලධාරීන් දැනුවත්ව සිටින්නේ ද සහ ඒවා අධීක්ෂණය කරන්නේ ද යන්න පිළිබඳව ඇමෙරිකා එක්සත් ජනපදය විමසා ඇති බව විදේශ කටයුතු අමාත්‍ය විජිත හේරත් මහතා පැවසීය.
මෙම තොරතුරු සම්බන්ධයෙන් අමාත්‍යවරයා අදහස් දැක්වූයේ ඊයේ පැවැති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවට එක්වෙමිනි.එම දැනුම්දීමෙන් අනතුරුව ආරක්ෂක සහ වරාය අමාත්‍යාංශ මේ පිළිබඳව දැනුවත් කිරීමට පියවර ගත් බවත්, ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් අදාළ නෞකා සම්බන්ධයෙන් දැඩි විමසිල්ලෙන් පසුවන බවත් අමාත්‍යවරයා සඳහන් කළේය. මෙම නෞකා කිසිසේත්ම ශ්‍රී ලංකාවට අයත් මුහුදු සීමාව තුළ නොමැති බව අවධාරණය කළ ඒ මහතා, ශ්‍රී ලංකා මුහුදු තීරයේ සිට නාවික සැතපුම් 24 කට වඩා ඔබ්බෙන් වූ ජාත්‍යන්තර මුහුදේ නෞකා 47 ක් හඳුනාගෙන ඇති බව පැහැදිලි කළේය.
ඇමෙරිකා එක්සත් ජනපදය සහ ඉරානය අතර පවතින හමුදාමය නොසන්සුන්තාව හමුවේ හඳුනාගත් මෙම නෞකා අතරට ඉරාන කොඩිය සහිත නෞකා කිහිපයක් මෙන්ම වෙනත් වෙළඳ සහ භාණ්ඩ ප්‍රවාහන නෞකා ද ඇතුළත් වේ. කෙසේ වෙතත්, ඉන් කිසිදු නෞකාවක් ශ්‍රී ලංකාවේ ප්‍රදේශීය මුහුදු සීමාවට ඇතුළු වී නොමැති බව අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.
මෙම නෞකාවන්ගෙන් කිසිවක් ශ්‍රී ලංකා රජයෙන් කිසිදු පහසුකමක් හෝ ආධාරයක් ඉල්ලා නොමැති අතර, රජය විසින්ද ඔවුන්ට කිසිදු පහසුකමක් සපයා නොමැත. ඉදිරි නාවික මෙහෙයුම් කටයුතු යෙදෙන තෙක් ශ්‍රී ලංකාව, තායිලන්තය, මැලේසියාව සහ ඉන්දුනීසියාව වැනි රටවලට ඔබ්බෙන් වූ ජාත්‍යන්තර මුහුදේ වෙළඳ හා භාණ්ඩ ප්‍රවාහන නෞකා නතර වී සිටීම සාමාන්‍ය සිදුවීමක් බව අමාත්‍යවරයා මෙහිදී පෙන්වා දුන්නේය.
එසේම, අදාළ නෞකාවල චලනයන් පිළිබඳව නිරීක්ෂණය කිරීමට අමතරව ශ්‍රී ලංකා රජය මැදිහත් වී හෝ වෙනත් කිසිදු ක්‍රියාමාර්ගයක් ගෙන නොමැති බව ද විදේශ කටයුතු අමාත්‍ය විජිත හේරත් මහතා නැවත අවධාරණය කළේය.