හොරණ, බැල්ලපිටිය, නාරගල පාලම අසලින් කළු ගඟට බැස දිය නාමින් සිටියදී සැඩ පහරට හසුවී අතුරුදහන් වූ විසි හැවිරිදි තරුණයාගේ සිරුර, දින තුනක සෙවීම්වලින් අනතුරුව ඊයේ (02) උදෑසන සොයාගැනීමට හැකි විය. දිය නෑ ස්ථානයේ සිට කිලෝමීටරයක් පමණ පහළින් පිහිටි ගල් පර්වතයක රැඳී තිබියදී මෙලෙස හමුවී ඇත්තේ අඟුරුවාතොට, යාල, වේරගොඩ ප්‍රදේශයේ පදිංචිව සිටි චිරාත් සස්මිත නැමැති තරුණයාගේ මෘත ශරීරයයි.
අනාගතය පිළිබඳ බොහෝ බලාපොරොත්තු තබාගනිමින් ජපන් භාෂා පාඨමාලාවක් හදාරමින් සිටි චිරාත්, හොරණ විද්‍යාරත්න විද්‍යාලයෙන් ඉංජිනේරු තාක්ෂණවේදය විෂය ධාරාවෙන් උසස් පෙළ විභාගයට පෙනී සිටි අයෙකි. මදුරාවල ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට අනුයුක්ත වරකගොඩ සමෘද්ධි සංවර්ධන බැංකුවේ කළමනාකරු ලෙස සේවය කරන වේරගොඩගේ සමන්ත කුමාර මහතාගේ සහ ගයනි ටෙක්ලා මහත්මියගේ වැඩිමහල් පුතු වන ඔහුට එක් බාල සොහොයුරකු සිටියි.
පසුගිය අගෝස්තු 26 වැනිදා සිය උපන් දිනය යෙදී තිබූ බැවින්, ගමේ විහාරස්ථානයේදී සංඝගත දක්ෂිණාවක් පිරිනමා ආශීර්වාද ලබාගැනීමට චිරාත් කටයුතු කර තිබිණි. මිතුරන්ටද සාදයක් පවත්වා තිබුණේ ඔවුන් කෙරෙහි වූ දැඩි ලෙන්ගතුකම නිසාමය. පසුව අගෝස්තු 31 වැනිදා සවස සිය යතුරුපැදියෙන් රෙමුණ සහ බැල්ලපිටිය ප්‍රදේශවල පිහිටි මිතුරන්ගේ නිවෙස් වෙත ගිය ඔහු, තවත් මිතුරන් දෙදෙනෙකුද සමඟ නාරගල පාලම අසල කළු ගඟට පැමිණ ඇත්තේ සවස 4.30ට පමණය.
ගඟේ දිය රළ සැඩ බැවින් දිය නෑමට අකමැති වූ මිතුරන්ට "උඹලට බැරි වුණාට මට පීනන්න පුළුවන්" යැයි පවසමින් චිරාත් ගඟට බැස තිබේ. නමුත් මොහොතකින් සැඩ පහරට හසුවූ ඔහු "අනේ මාව ගහගෙන යනවා, ඉක්මනට බේරගන්න" යැයි කෑගසමින් උපකාර ඉල්ලා ඇත. පිහිනීමට නොහැකි වුවද තම මිතුරා බේරාගැනීමේ අරමුණින් අනෙක් තරුණයාද දියට පැන්නත්, ඔහුද සැඩ පහරට හසුවී අසීරුවෙන් ගසක එල්ලී දිවි බේරාගෙන තිබේ.
කිඹුලන් ගැවසෙන, ගල්පර බහුල එම භයානක ගං දියෙහි රාත්‍රී කාලයේ පවා ගිනිමැල දල්වමින් මව්පියන්, ප්‍රදේශවාසීන්, පොලීසිය සහ කළුතර ආපදා කළමනාකරණ නිලධාරීන් එක්ව දැවැන්ත සෙවීමක් සිදුකරන ලදී. අවසානයේදී ඊයේ උදෑසන, පියා ඇතුළු ඥාතීන් පිරිසක් බෝට්ටුවකින් සිදුකළ සෙවීමකදී මදුරාවල, හල්පිට, හොරගස්මුල්ල ප්‍රදේශයේ ගල්පරයක රැඳී තිබූ චිරාත්ගේ සිරුර හමුවිය.
අඩි 100ක් පමණ පළලින් හා අඩි 15කට ආසන්න ගැඹුරකින් යුත් මෙම අනතුරුදායක ස්ථානයේ මීට පෙරද ජීවිත හානි රැසක් සිදුව තිබේ. එවන් අවදානම් සහිත ස්ථානයකට තරුණයින් මෙලෙස බැසීම පිළිබඳව ප්‍රදේශවාසීන් කණගාටුව පළ කරති. මෘත ශරීරය හමුවූ ප්‍රදේශය අඟුරුවාතොට පොලිස් බලප්‍රදේශයට අයත් වන බැවින්, සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන අඟුරුවාතොට පොලීසිය මගින් ක්‍රියාත්මක කෙරේ.