body-of-naval-officer-missing-from-dora-attack-craft-found-after-20-days

මොරටුව, අගුලාන වෙරළට ආසන්න මුහුදේදී අනතුරට ලක්වූ ශ්‍රී ලංකා නාවික හමුදාවට අයත් P-4447 ඩෝරා ප්‍රහාරක යාත්‍රාවේ අතුරුදහන්ව සිටි දෙවන අණදෙන නිලධාරියාගේ දේහය දින 20 කට පසු සොයාගැනීමෙන් අනතුරුව, ඊයේ (සැප්තැම්බර් 05) රාත්‍රියේ බොරලැස්ගමුව, වේරහැර පිහිටි ඔහුගේ නිවස වෙත රැගෙන එනු ලැබීය.




මෙලෙස අවාසනාවන්ත ලෙස දිවි අහිමි වී ඇත්තේ වේරහැර ප්‍රදේශයේ පදිංචිව සිටි 26 හැවිරිදි ලුතිනන් උදයප්‍රිය මහතා වන අතර, මේ වන විට පවුලේ ඥාතීන්, හිතවතුන් සහ නාවික හමුදා නිලධාරීන් රැසක් අදාළ නිවස වෙත පැමිණ දේහයට අවසන් ගෞරව දක්වමින් සිටිති.

පසුගිය අගෝස්තු මස 15 වන දින නාවිකයන් දොළොස් දෙනෙකුගෙන් යුත් පිරිසක් සිය මුර සංචාරය නිමකර නැවත කොළඹ බලා පැමිණෙමින් සිටියදී අගුලාන වෙරළ තීරයේ සිට කිලෝමීටර් 3 ක පමණ දුරින් මුහුදේදී මෙම අනතුර සිදුවිය. සිදුවීම සැලවීමත් සමඟ වහා ක්‍රියාත්මක වූ අගුලාන පොලිසිය, නාවික හමුදාව සහ ගුවන් හමුදාව එක්ව ඒකාබද්ධ මුදාගැනීමේ මෙහෙයුමක් ආරම්භ කළ අතර, ආරක්ෂිත කබා පැළඳ දියමත පාවෙමින් සිටි නාවිකයන් 11 දෙනෙකු ආරක්ෂිතව මුදාගෙන රෝහල් ගත කිරීමට කටයුතු කෙරිණි. එම නිරීක්ෂණ හා මුදාගැනීමේ මෙහෙයුම් සඳහා ගුවන් හමුදාවේ එම්.අයි. 17 සහ බෙල් 412 වර්ගයේ හෙලිකොප්ටර් යානා ද යොදවා තිබුණි.




අනතුරට පත් යාත්‍රාව කොළඹ වරාය වෙත ඇදගෙන ඒමට නාවික හමුදාව උත්සාහ කළ ද, වැල්ලවත්ත ප්‍රදේශය අසලදී එහි වැකියුම් පද්ධතිය අක්‍රිය වීම හේතුවෙන් යාත්‍රාව අඩි 75 ක් පමණ මුහුදු පතුලට ගිලී ගිය බව පොලිසිය සඳහන් කරයි. පසුව නාවික හමුදා කිමිදුම්කරුවන් විසින් මුහුදු පතුලේ ගිලී තිබූ යාත්‍රාව අභ්‍යන්තරයේ සිදු කළ විශේෂ සෝදිසි මෙහෙයුමකදී අතුරුදහන්ව සිටි ලුතිනන්වරයාගේ සිරුර සොයා ගැනීමට හැකි වූ බව වරාය පොලිසිය වැඩිදුරටත් තහවුරු කරයි.