cement-truck-veers-off-the-road-and-crashes-into-a-building-and-four-vehicles

ත්‍රිකුණාමලයේ සිට මාතලේ දෙසට සිමෙන්ති පටවාගෙන ධාවනය වූ ලොරි රථයක රියැදුරුට නින්ද යාම හේතුවෙන් කන්තලේ නගරයේදී ඊයේ (08) සිදුවූ රිය අනතුරකින් වාහන හතරකට, ගොඩනැගිල්ලකට මෙන්ම විදුලි හා දුරකථන රැහැන් පද්ධතිවලට දැඩි හානි සිදුව තිබේ.




ධාවනය වෙමින් තිබූ සිමෙන්ති ලොරි රථය ප්‍රථමයෙන් මාර්ගයේ නවත්වා තිබූ ගෑස් පටවන ලද කන්ටේනර් රථයක ගැටී ඇති අතර, අනතුරුව පාරෙන් ඉවතට පැන අධිබලැති විදුලි කණුවක සහ අසල වූ ගොඩනැගිල්ලක වැදී ඇත.

අනතුරින් බිඳී ගිය අධිබල විදුලි කණුවේ රැහැන් මාර්ගය දෙසට ඇලවී තිබියදී, ත්‍රිකුණාමලයේ සිට මාළු පටවාගෙන පැමිණි ෆ්‍රීසර් ලොරි රථයක් එම රැහැන් යටින් ගමන් කිරීමට උත්සාහ කර තිබේ. එහිදී විදුලි රැහැන් ලොරි රථයේ පැටලී ඇදී යාමෙන් මාර්ගයේ අනෙක් පස වූ තවත් විදුලි කණුවක් කඩා වැටී, අසල නවත්වා තිබූ බස් රථයකට සහ දුරකථන රැහැන් පද්ධතියට හානි සිදු විය.




මෙම සිදුවීමත් සමග ප්‍රධාන මාර්ගයේ ගමනාගමනය සම්පූර්ණයෙන්ම අඩපණ වූ අතර, පොලිසිය මැදිහත් වී විකල්ප මාර්ග ඔස්සේ වාහන හැරවීමට පියවර ගත්තේය. සිද්ධිය සම්බන්ධයෙන් කන්තලේ රථවාහන පොලිසිය වැඩිදුර විමර්ශන මෙහෙයවයි.

cement-truck-veers-off-the-road-and-crashes-into-a-building-and-four-vehicles