ඩෙන්මාර්කයට අයත් ස්වයංපාලන කලාපයක් වන ග්‍රීන්ලන්තය තුළ ඇමරිකානු හමුදා පැවැත්ම පුළුල් කිරීමේ නව ගිවිසුමකට එළඹි බව ඇමරිකා එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් නිල වශයෙන් ප්‍රකාශ කර තිබේ. මෙම එකඟතාව හරහා ග්‍රීන්ලන්තයේ ආරක්ෂාව පිළිබඳ ස්ථිර පාලන බලය ඇමරිකාව සතු වන බවට ජනාධිපතිවරයා තහවුරු කරයි.
ඩෙන්මාර්කය සහ ග්‍රීන්ලන්ත බලධාරීන් සමඟ මෙම විශේෂ එකඟතාවට පැමිණි බව ට්‍රම්ප් ජනාධිපතිවරයා පවසා සිටියේ 'ටෲත් සෝෂල්' (Truth Social) සමාජ මාධ්‍ය ජාලය ඔස්සේ සටහනක් තබමිනි. ග්‍රීන්ලන්තයේ ආරක්ෂාව ඇතුළු සියලු අවශ්‍යතාවන් සම්බන්ධයෙන් ස්ථිර පාලන බලයක් හිමිවීමෙන් ඇමරිකාව හමුවේ පැවති ආරක්ෂක ගැටලු රැසකට විසඳුම් ලැබුණු බවත්, දෙරටේම සුරක්ෂිතතාව වෙනුවෙන් ග්‍රීන්ලන්තය තුළ අවශ්‍ය ඕනෑම ක්‍රියාමාර්ගයක් ගැනීමට ඇමරිකාවට සදහටම හැකියාව ලැබෙන බවත් ඔහු එහිදී සඳහන් කළේය.
ග්‍රීන්ලන්තයේ සුදුසු ප්‍රදේශයන්හි විශාල පරිමාණයේ හමුදා කඳවුරු ඉදිකිරීමේ කටයුතු වහාම ආරම්භ කරන බවත් ජනාධිපතිවරයා පැවසීය. එමෙන්ම ඇමරිකාවේ ලිඛිත පූර්ව අනුමැතියකින් තොරව කිසිදු සතුරු බලවේගයකට ග්‍රීන්ලන්තය තුළ හමුදා කඳවුරු පිහිටුවීමට, සෙබළුන් රඳවා තැබීමට හෝ සංවේදී ක්ෂේත්‍රවල ආයෝජනය කිරීමට මින් ඉදිරියට ඉඩ නොලැබෙන බවද ඔහු පෙන්වා දුන්නේය.
මේ අතර ලබන සතියේදී මෙම එකඟතාවට නිල වශයෙන් අත්සන් තැබීමට නියමිත බව ඩෙන්මාර්කය නිවේදනය කර ඇත. ආක්ටික් සහ උතුරු අත්ලාන්තික් කලාපයේ ආරක්ෂාව තහවුරු කිරීම උදෙසා එක්සත් ජනපදය, ඩෙන්මාර්කය සහ ග්‍රීන්ලන්තය අතර මෙම ත්‍රෛපාර්ශ්වික ආරක්ෂක ගිවිසුම අත්සන් කෙරෙන බව ඩෙන්මාර්ක අගමැතිනී මෙටේ ෆ්‍රෙඩෙරික්සන් ප්‍රකාශයක් නිකුත් කරමින් තහවුරු කර ඇති බව ඒ.එෆ්.පී. (AFP) පුවත් සේවය වාර්තා කරයි.
පසුගිය වසරේ සිටම ඇමරිකානු ආරක්ෂක හේතූන් මත ග්‍රීන්ලන්තය එක්සත් ජනපදයට ඈඳා ගත යුතු බවට ට්‍රම්ප් ජනාධිපතිවරයා තර්ක කළේය. රුසියාව හෝ චීනය වැනි පාර්ශ්වයක් ග්‍රීන්ලන්තයේ පාලනය නතු කරගතහොත් එය ඇමරිකාවේ ගුවන් සහ සාගර ආරක්ෂාවට දැඩි තර්ජනයක් වන බවත්, එය වැළැක්වීමේ ප්‍රමාණවත් ශක්‍යතාවක් ඩෙන්මාර්කය සතු නොවන බවත් ඔහු පෙන්වා දී තිබිණි.
