boyfriend-who-killed-girlfriend-by-slitting-her-throat-gouging-out-her-eyes-commits-suicide

වත්තල, පල්ලියවත්ත ප්‍රදේශයේදී තරුණියක අතිශය කෲර ලෙස ඝාතනය කර පළාගිය පෙම්වතාගේ මළසිරුර ඉකුත් 4 වැනිදා අතුරුගිරිය පොලිස් වසමෙන් සොයාගෙන තිබේ. ඉකුත් 3 වැනිදා පෙරවරුවේ සිදු වූ මෙම ඝාතනයෙන් පසු පලාගොස් සිටි සැකකරු මෙලෙස මියගොස් ඇත්තේ සියදිවි හානිකර ගැනීමෙන් බවට දැනට සිදුකළ විමර්ශනවලදී සැක කෙරේ.




මෙලෙස ඝාතනයට ලක්ව ඇත්තේ පල්ලියවත්ත, ටෑන් ලංකා පාරේ පිහිටි සිය දෙමාපියන්ගේ නිවසට දින කිහිපයකට පෙර පැමිණ නවාතැන්ගෙන සිටි 18 හැවිරිදි කනකසබෙයි මීගා නමැති යෞවනියයි. ඇය වසර පහක පමණ කාලයක සිට තම ලොකු තාත්තාගේ පුතා සමඟ ප්‍රේම සබඳතාවක් පවත්වාගෙන ගොස් ඇති අතර, වසරකට වැඩි කාලයක් ඔවුන් නීත්‍යානුකූලව විවාහ නොවී එකට ජීවත්ව සිට ඇත. කෙසේ වෙතත්, සැකකාර පෙම්වතා ඇය කෙරෙහි දිගින් දිගටම පැවැත්වූ සැකය හේතුවෙන් ඇතිවූ බහින්බස්වීමක් මත, නිවසේ සිටියදී ඇයව නාන කාමරය වෙත රැගෙන ගොස් පිහියකින් ගෙල කපා ඇස් උගුල්ලා මෙලෙස ඝාතනය කර ඇති බව හෙළිවී තිබේ.

මෙලෙස මළසිරුර හමු වූ සැකකරු උඩුපුස්සැල්ලාව, සෙන්ට් මාග්‍රට් වත්තේ ස්ථිර පදිංචිකරුවකු වන 25 හැවිරිදි වරදරාජා චන්ද්‍රදේවාන් නමැත්තෙකි. ඔහු මීට වසර කිහිපයකට පෙර අවිස්සාවේල්ල ප්‍රදේශයේදී පුද්ගලයකුට පිහියෙන් ඇන ඝාතනය කිරීමේ සිද්ධියකට අදාළව දැනටමත් අධිකරණය හමුවේ නඩුවක් විභාග වෙමින් පවතින පුද්ගලයෙකු බවද පරීක්ෂණවලදී අනාවරණය වී ඇත.




සිද්ධිය වූ ස්ථානයේදී මූලික මහෙස්ත්‍රාත් පරීක්ෂණය වත්තල අතිරේක මහෙස්ත්‍රාත් මෙරිල් බොතේජු මහතා විසින් සිදුකළ අතර, අදාළ නිලධාරීන් විසින් පශ්චාත් මරණ පරීක්ෂණය පවත්වා තිබේ. වත්තල පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ප්‍රසන්න ජයලත් මහතාගේ උපදෙස් මත වත්තල අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක රෝහණ නන්දසිරි මහතා ඇතුළු නිලධාරී කණ්ඩායමක් වැඩිදුර විමර්ශන කටයුතු මෙහෙයවනු ලබයි.

boyfriend-who-killed-girlfriend-by-slitting-her-throat-gouging-out-her-eyes-commits-suicide