
ආයුර්වේද වෛද්‍යවරියක මෙන්ම රූපලාවණ්‍ය ශිල්පිනියක ලෙස අසත්‍ය ලෙස පෙනී සිටිමින් පුද්ගලයන් දෙදෙනෙකුගෙන් රුපියල් එක්කෝටි එක්ලක්ෂයක මුදලක් ලබාගෙන අගරු චෙක්පත් නිකුත් කළ පනස් හැවිරිදි කාන්තාවක හොරණ විශේෂ අපරාධ විමර්ශන ඒකකය මගින් අත්අඩංගුවට ගෙන තිබේ. හොරණ ප්‍රදේශයේ පදිංචිකාරියක වන සැකකාරිය, සැබෑ වෛද්‍යවරියක ලෙස හැඟවීමට වෙද නළාවක් පවා පැළඳ ව්‍යාජ වෛද්‍ය සහතික ප්‍රදර්ශනය කරමින් රෝගීන්ට ප්‍රතිකාර කර ඇති බවද පොලිස් විමර්ශනවලදී අනාවරණය වී ඇත.
අදාළ කාන්තාව විසින් හොරණ ගුරුගොඩ ප්‍රදේශයේ පදිංචිකරුවෙකු මුළා කරමින් ආයුර්වේද ඖෂධ සහ රූපලාවණ්‍ය ද්‍රව්‍ය මිලදී ගැනීමේ අවශ්‍යතාවය පවසා රුපියල් ලක්ෂ අසූ හයක මුදලක් ලබාගෙන ඇති අතර, එම මුදල පියවීම සඳහා ලබා දුන් චෙක්පත් බැංකුවට ඉදිරිපත් කළද අදාළ ගිණුම්වල ප්‍රමාණවත් මුදල් නොමැති බව හෙළි වී තිබේ. අවස්ථා කිහිපයකදීම අදාළ මුදල් ආපසු ඉල්ලා සිටියද ඒවා ලබාදීමට ඇය අපොහොසත් වීම හේතුවෙන් විපතට පත් පුද්ගලයා පොලිසියට පැමිණිලි කිරීමට පියවර ගෙන ඇත.
මීට අමතරව ඇහැළියගොඩ, පහළ ගැටහැත්ත ප්‍රදේශයේ පදිංචි තවත් අයෙකුගෙන්ද මෙලෙසම ආයුර්වේද ඖෂධ හා රූපලාවණ්‍ය ආලේපන මිලදී ගැනීමට බව පවසා රුපියල් ලක්ෂ පහළොවක මුදලක් ලබාගෙන තිබේ. එම මුදල වෙනුවෙන්ද ඇය විසින් නිකුත් කරන ලද චෙක්පත් බැංකුව මගින් අගරු වී ඇති අතර, ඉන්පසුවද මුදල් ලබා ගැනීමට දැරූ උත්සාහයන් ව්‍යර්ථ වීම නිසා අදාළ පුද්ගලයාද හොරණ විශේෂ අපරාධ විමර්ශන ඒකකය වෙත පැමිණිලි කර ඇත.
