ඊශ්‍රායලය විසින් ගාසා තීරයේ අපජල පවිත්‍රාගාර වෙත එල්ල කරන ලද ප්‍රහාර හේතුවෙන් මේ වන විට ඊශ්‍රායලයටම දැඩි ජල හිඟයකට මුහුණ දීමට සිදුවී තිබේ. ගාසා හි යටිතල පහසුකම් විනාශ වීමත් සමඟ මධ්‍යධරණී මුහුදට පිරිසිදු නොකළ විශාල අපජල ප්‍රමාණයක් එක්වීම නිසා මුහුදු ජලයේ අසාමාන්‍ය ලෙස ඇල්ගී වර්ධනය වීමක් දක්නට ලැබේ.
සැතපුම් 60ක් පමණ දුරකට පැතිරී ඇති මෙම ඇල්ගී තට්ටුව හේතුවෙන් ඊශ්‍රායලයේ ජල ලවණීකරණ ධාරිතාවට දැඩි බාධා එල්ල වී ඇත. අපජලයේ අඩංගු නයිට්‍රජන් සහ පොස්පරස් වැනි පෝෂක මගින් පෝෂණය වන ක්ෂුද්‍ර ඇල්ගී විසින් ඊශ්‍රායලයේ ප්‍රධාන ලවණීකරණ මධ්‍යස්ථාන හයකින් පහකම පෙරහන් අවහිර කර ඇති අතර, මේ හේතුවෙන් එම මධ්‍යස්ථාන දින ගණනාවක් වසා දැමීමටත්, වර්තමානය වන විට අඩු ධාරිතාවකින් ක්‍රියාත්මක කිරීමටත් සිදුවී තිබේ. අනෙක් අතට, ගාසා තීරය තුළ තත්ත්වය අතිශය ඛේදජනක වී ඇති අතර, එහි ජනතාව දැඩි ජල හා සෞඛ්‍ය අර්බුදයකින් පීඩා විඳිති. වාර්තා වන අන්දමට,
2023 ඔක්තෝබර් 7 වන දා සිට එල්ල වූ ඊශ්‍රායල බෝම්බ ප්‍රහාර හේතුවෙන් ගාසා හි ජල හා සනීපාරක්ෂක යටිතල පහසුකම්වලින් සියයට 90ක් පමණ සම්පූර්ණයෙන්ම විනාශ වී ඇත. මේ හේතුවෙන් දිනකට පිරිසිදු නොකළ අමු අපජලය ඝන මීටර 45,000ක් පමණ සෘජුවම මධ්‍යධරණී මුහුදට ගලා යන අතර, තවත් ඝන මීටර 15,000ක් පමණ භූගත ජලයට කාන්දු වේ. මෙම යටිතල පහසුකම් විනාශය හේතුවෙන් අවතැන් වූ ගාසා වැසියන්ට නිසි ජල සැපයුමක් නොමැතිව අපජල පොකුණු සහ කසළ ගොඩවල් අසල ජීවත් වීමට සිදුවී ඇති අතර, කුඩා දරුවන් අතර උදරාබාධ, පාචනය සහ සමේ රෝග ශීඝ්‍රයෙන් පැතිර යමින් පවතී. තවද, මෙම පාරිසරික ව්‍යසනය හේතුවෙන් ගාසා තීරයේ පමණක් නොව දේශසීමාව ආසන්නයේ පිහිටි ඊශ්‍රායල ප්‍රජාවන් තුළ ද පෙර නොවූ විරූ අන්දමේ මීයන්ගේ ගහනයක් වර්ධනය වී ඇති අතර, පරිසර දූෂණය දේශපාලන මායිම් හඳුනන්නේ නැති බව පරිසරවේදීන් විසින් පෙන්වා දී ඇත.
