an-underworld-grenade-attack-on-a-house-in-kalubowila

කොහුවල පොලිස් වසමට අයත් කළුබෝවිල, විමලසිරි පාර ප්‍රදේශයේ පිහිටි නිවසකට ඊයේ (09) රාත්‍රී 11.45 ට පමණ ස්කූටි වර්ගයේ යතුරුපැදියකින් පැමිණි නාඳුනන පුද්ගලයන් දෙදෙනෙකු විසින් අත්බෝම්බ ප්‍රහාරයක් එල්ල කර පළා ගොස් තිබේ.




සැකකරුවන් විසින් නිවසේ ප්‍රධාන ගේට්ටුවෙන් ඇතුළට අත්බෝම්බය දමා ගසා ඇති අතර, එය පිපිරී යාමෙන් නිවසේ ඉදිරිපස ජනෙල් දෙකක වීදුරුවලට හානි සිදුව ඇත. මෙම ප්‍රහාරය සිදුවන අවස්ථාවේදී නිවස තුළ 56 හැවිරිදි කාන්තාවක් පමණක් රැඳී සිට ඇති අතර, සිද්ධියෙන් ඇයට හෝ වෙනත් කිසිදු පුද්ගලයෙකුට හානියක් සිදුවී නොමැත.

පොලිස් පරීක්ෂණවලදී අනාවරණය වී ඇත්තේ මෙම ප්‍රහාරයට ලක්ව ඇත්තේ මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන දිසානායක මුදියාන්සේලාගේ අවිෂ්ක ඒෂාන් නමැත්තාගේ මිතුරෙකු වන තරිඳු රවිෂාන් නමැත්තාගේ නිවස බවයි. අදාළ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුගේ අනුගාමිකයන් සමඟ මොහු සමීප සබඳතා පවත්වාගෙන ගොස් ඇති බවටද තොරතුරු හෙළිවී තිබේ.




අත්බෝම්බ ප්‍රහාරය එල්ල කර පළාගිය සැකකරුවන් හඳුනාගෙන අත්අඩංගුවට ගැනීම සඳහා කොහුවල පොලීසිය මගින් වැඩිදුර විමර්ශන මෙහෙයවනු ලබයි.