ශ්‍රී ලංකා මහ බැංකුවේ නියෝජ්‍ය අධ්‍යක්ෂවරියක ලෙස පෙනී සිටිමින් පුද්ගලයෙකුගෙන් රුපියල් ලක්ෂ 85ක මුදලක් වංචා කළ බවට චෝදනා ලැබ සිටින කාන්තාවක රුපියල් ලක්ෂ 25 බැගින් වූ සහතික ඇප දෙකක් මත මුදාහැරීමට කුරුණෑගල අතිරේක මහේස්ත්‍රාත් මහේෂානී අමුණුගම මහත්මිය නියෝග කළාය. එමෙන්ම ඇයට විදේශ ගමන් තහනමක් පැනවූ මහේස්ත්‍රාත්වරිය, ඇපකරුවන් සැකකාරියගේ සමීපතම ඥාතීන් විය යුතු අතර ඔවුන් සිය පදිංචිය සනාථ කළ යුතු බවටද කොන්දේසි පැනවූවාය.
මෙලෙස ඇප මත මුදාහැර ඇත්තේ කටුගස්තොට, සෙනරත්ගම ප්‍රදේශයේ පදිංචි 52 හැවිරිදි තැනැත්තියකි. ඇයගේ සැමියා අලදෙණිය පොලීසියේ උසස් නිලධාරියෙකු වන අතර, මෙම සිද්ධිය සම්බන්ධයෙන් කුරුණෑගල වැහැර, චාමින්ද කුමාර මාවතේ පදිංචිකරුවෙකු විසින් පැමිණිල්ල ඉදිරිපත් කර තිබිණි.
මහ බැංකුව මගින් සාර්ථක ව්‍යාපාරිකයන් සඳහා විශාල ප්‍රමාණයේ මුදල් ත්‍යාග පිරිනමන බවත්, එම ත්‍යාග ලබාගැනීම සඳහා අත්තිකාරම් මුදලක් ආයෝජනය කළ යුතු බවත් පවසමින් සැකකාරිය පැමිණිලිකරු රවටා තිබේ. අත්තිකාරම් මුදල ලබාදී මාසයක් ඇතුළත අදාළ ත්‍යාග මුදල හිමිවන බවට ඇය පොරොන්දු වී ඇති අතර, මෙම වංචනික ක්‍රියාව සඳහා මහ බැංකුවේ ලිපි ශීර්ෂ සහ රබර් මුද්‍රාවලට සමාන දෑ භාවිත කරමින් ලිපි පවා යවා ඇති බව පොලිස් විමර්ශනවලදී අනාවරණය වී ඇත.
මෙම රැවටීමට ලක්වූ පැමිණිලිකරු විසින් 2025 වසරේදී අවස්ථා කිහිපයකදී රුපියල් ලක්ෂ 85ක මුදලක් සැකකාරිය ලබාදුන් බැංකු ගිණුමට තැන්පත් කර තිබේ. කෙසේ වෙතත්, පොරොන්දු වූ පරිදි කිසිදු ත්‍යාග මුදලක් නොලැබීම නිසා තමන් වංචාවකට හසුව ඇති බව වටහාගත් පැමිණිලිකරු ඒ පිළිබඳව කුරුණෑගල විශේෂ අපරාධ විමර්ශන ඒකකයට පැමිණිලි කර ඇත. ඒ අනුව ක්‍රියාත්මක වූ පොලිසිය සැකකාරිය අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ඇය ඇප මත මුදාහැරීමට කටයුතු කෙරිණි.
පසුගිය 16 වන දින මෙම නඩුව නැවත කැඳවූ අවස්ථාවේදී පොලීසිය ඇප ලබාදීමට විරෝධය පළකළේය. සැකකාරියට එරෙහිව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මෙන්ම මහනුවර පොලීසියේද නඩු පවතින බැවින් ඇය රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස පොලීසිය අධිකරණයෙන් ඉල්ලා සිටියේය. කෙසේ වෙතත් සැකකාරිය වෙනුවෙන් පෙනී සිටි ජ්‍යෙෂ්ඨ නීතිඥ කීර්ති ජී. දුනුසිංහ මහතා පෙන්වා දුන්නේ පනවා ඇති ඇප කොන්දේසි කඩකළහොත් පමණක් විත්තිකරුවෙකු රක්ෂිත බන්ධනාගාරගත කළ හැකි බවත්, පොලීසිය පවසන අනෙකුත් චෝදනාවලට අදාළ නඩු අංකයක්වත් අධිකරණයට ඉදිරිපත් කර නොමැති බවත්ය. ඉදිරිපත් වූ කරුණු සැලකිල්ලට ගත් අතිරේක මහේස්ත්‍රාත්වරිය සැකකාරිය පෙර ඇප මත තැබීමට නියම කළ අතර නඩුව ලබන නොවැම්බර් මස 18 වැනිදා නැවත කැඳවීමට නියෝග කළාය.
