කුරුණෑගල ප්‍රධාන මිශ්‍ර පාසලක නවවැනි වසරේ ඉගෙනුම ලබන 14 හැවිරිදි සිසුවියකට ලිංගික අපයෝජනයක් සිදුකළ බවට චෝදනා ලැබූ 52 හැවිරිදි විද්‍යාව විෂය භාර ගුරුවරයෙකු කුරුණෑගල මූලස්ථාන පොලීසිය මගින් සැකපිට අත්අඩංගුවට ගෙන තිබේ. මල්කඩුවාව, නන්දන මාවත ප්‍රදේශයේ පදිංචි දෙදරු පියෙකු වන මෙම සැකකාර ගුරුවරයා පසුගිය 30 වැනිදා මෙසේ පොලිස් භාරයට ගෙන ඇත.
පසුගිය ජූනි මාසයේදී සිදු වූ මෙම අපයෝජන සිද්ධිය පිළිබඳව අදාළ සිසුවිය විසින් සිය දෙමාපියන් දැනුවත් කිරීමෙන් අනතුරුව, ඔවුන් ඒ බව පාසල් බලධාරීන්ට පැමිණිලි කර තිබේ. කෙසේ වෙතත්, පාසල් බලධාරීන් අදාළ ගුරුවරයා ආරක්ෂා වන අයුරින් කටයුතු කර ඇති බවට චෝදනා එල්ල වන අතර, පසුව කුරුණෑගල කලාප අධ්‍යාපන කාර්යාලයට ලැබුණු පැමිණිල්ලකට අනුව සිදු කළ විමර්ශනයකින් පසුව සැකකරු කුරුණෑගල ප්‍රදේශයේම පිහිටි වෙනත් කුඩා පාසලකට මාරු කර යවා ඇත.
සිද්ධිය සිදු වී මාස දෙකකට අධික කාලයක් ගතවුවද අදාළ ගුරුවරයාට එරෙහිව බලධාරීන් කිසිදු නීතිමය පියවරක් නොගැනීම හේතුවෙන්, සිසුවියගේ පියා විසින් පසුගිය 25 වැනිදා කුරුණෑගල මූලස්ථාන පොලීසියේ ළමා හා කාන්තා කාර්යාංශය වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබේ. ඒ ඔස්සේ විමර්ශන ආරම්භ කළ පොලීසිය මගින් සැකකාර ගුරුවරයා මෙසේ අත්අඩංගුවට ගෙන තිබේ.
මෙම සැකකරු මීට පෙර කුරුණෑගල නගරයේ පිහිටි වෙනත් ප්‍රධාන මිශ්‍ර පාසලක සේවය කරමින් සිටියදී ද මෙවැනිම ආකාරයෙන් සිසුවියකට අපයෝජනයක් සිදුකළ බවට චෝදනා ලැබූ අයෙකු බව විමර්ශනවලදී අනාවරණය වී ඇත. එම අවස්ථාවේදී අදාළ සිසුවියගේ වයස අවුරුදු 18 ඉක්මවා තිබීම නිසා ඇගේ අනාගතය පිළිබඳව සිතා දෙමාපියන්ගේ කැමැත්ත මත කිසිදු නීතිමය ක්‍රියාමාර්ගයක් ගෙන නොමැති අතර, සිද්ධිය අනාවරණය වීමත් සමග ඔහු වත්මන් පාසලට මාරුවක් ලබාගෙන පැමිණ ඇති බව පැවසෙයි.
මෙම අපයෝජන සිද්ධිය සම්බන්ධයෙන් කුරුණෑගල කලාප අධ්‍යාපන කාර්යාලය විසින් ගෙන ඇති ක්‍රියාමාර්ග පිළිබඳව වයඹ පළාත් සභාවේ අධ්‍යාපන අමාත්‍යාංශය මගින් වාර්තාවක් කැඳවා තිබේ. කුරුණෑගල දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති ප්‍රියන්ත සී. පල්ලේවෙල මහතාගේ උපදෙස් මත කුරුණෑගල ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී තිස්ස විතානගේ මහතාගේ මෙහෙයවීමෙන් කුරුණෑගල මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂක ධම්ම චන්නක කොබ්බෑවල මහතා ඇතුළු කණ්ඩායමක් වැඩිදුර විමර්ශන සිදු කරති.