19-unauthorized-buildings-on-marine-drive-ordered-to-vacate-by-the-10th

බම්බලපිටිය සිට දෙහිවල දක්වා වූ අතිශය සංවේදී වෙරළ තීරයේ අත්තනෝමතික ලෙස ඉදිකර ඇති සියලුම අනවසර ගොඩනැඟිලි කඩා ඉවත් කිරීමට වෙරළ සංරක්ෂණ සහ වෙරළ සම්පත් කළමනාකරණ දෙපාර්තමේන්තුව තීරණය කර ඇත. දේශපාලනඥයන්ගේ සහ ඉහළ පෙළේ රාජ්‍ය නිලධාරීන්ගේ මැදිහත්වීමෙන් ව්‍යාජ ලේඛන සකස් කරමින්, සංචාරක ආකර්ෂණය දිනාගත් මෙම වෙරළ කලාපයේ ඉදිකර ඇති හෝටල් ඇතුළු විවිධ ඉදිකිරීම් මෙලෙස ඉවත් කිරීමට පියවර ගෙන තිබේ.




මෙම මෙහෙයුමේ පළමු අදියර යටතේ බම්බලපිටිය මැරීන් ඩ්‍රයිව් හි කින්ලෝස් මාවත ඇතුළු ප්‍රදේශ රැසක පිහිටි, පුද්ගලයන් අටදෙනකුට අයත් අනවසර ගොඩනැඟිලි 19ක් සඳහා දැනටමත් ඉවත් කිරීමේ නිල නියෝග නිකුත් කර අවසන්ය. වෙරළ සංරක්ෂණ සහ වෙරළ සම්පත් කළමනාකරණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් මහාචාර්ය පී.බී. ටර්නි ප්‍රදීප් කුමාර මහතාගේ අත්සනින් යුතුව නිකුත් කළ මෙම නිවේදනවලට අනුව, එළඹෙන සැප්තැම්බර් 10 වැනිදාට පෙර අදාළ ගොඩනැඟිලි සහ ඒවායේ ඇති සියලු භාණ්ඩ ඉවත් කරගත යුතුය. නියමිත දිනට පෙර ඒවා ඉවත් නොකළහොත් පූර්ව දැනුම්දීමකින් තොරව දෙපාර්තමේන්තුව මඟින් ඒවා කඩා ඉවත් කරන අතර, එහිදී සිදුවන කිසිදු හානියකට රජය වගකියනු නොලැබේ.

අදියර කිහිපයක් යටතේ ක්‍රියාත්මක වන මෙම වැඩපිළිවෙළට සංවිධානාත්මක අපරාධ කණ්ඩායම් සාමාජිකයකු ලෙස ප්‍රකට ශිරාන් බාසික්ගේ අනවසර හෝටලයක් මෙන්ම හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ පාලන සමයේ සහ ඉන් පසුවද එම පාර්ශ්වය සමඟ සමීපව කටයුතු කළ විශ්‍රාමික යුද හමුදාපතිවරයකුගේ හෝටලයක්ද ඇතුළත් වේ. අදාළ හමුදා නිලධාරියාගේ පාර්ශ්වයෙන් පෙර පැවති රජයන් යටතේ අනුමැතිය ලැබුණු බව කියන ලියකියවිලි කිහිපයක් ද ඉදිරිපත් කරමින් මෙම තීරණයට එරෙහිව අභියාචනයක් යොමු කර ඇති බවද වාර්තා වේ. ප්‍රථම අදියරේ ගොඩනැඟිලි 19 සඳහා ඉවත් කිරීමේ නියෝග යවා තිබුණද, ඊළඟ අදියරයට අදාළ නියෝග මෙතෙක් නිකුත් කර නොමැත.




1988 අංක 64 සහ 2011 අංක 49 දරන පනත්වලින් සංශෝධිත 1981 අංක 57 දරන වෙරළ සංරක්ෂණ සහ වෙරළ සම්පත් කළමනාකරණ පනතට අනුව වෙරළ කලාපයක් තුළ යම් ඉදිකිරීමක් කිරීමට පෙර විධිමත් බලපත්‍රයක් ලබාගැනීම අනිවාර්ය කර ඇත. එම පනතේ 31 (4) වගන්තිය ප්‍රකාරව, අධිකරණ නියෝගයකින් තොරවම මෙවැනි අනවසර ඉදිකිරීම් කඩා ඉවත් කිරීමේ පූර්ණ බලය අදාළ දෙපාර්තමේන්තුව සතුව පවතියි.