veteran-lyricist-rambukana-siddhartha-thera-has-passed-away

ශ්‍රී ලාංකේය ගීත සාහිත්‍යයට අනුපමේය මෙහෙවරක් ඉටු කළ ප්‍රමුඛ පෙළේ යතිවරයෙකු, ගේය පද රචකයෙකු සහ කතුවරයෙකු වූ පූජ්‍ය රඹුකන සිද්ධාර්ථ හිමිපාණෝ අසනීප තත්ත්වයක් හේතුවෙන් රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටියදී අපවත් වූහ. අපවත් වන විට උන්වහන්සේ 76 වන වියෙහි පසුවූහ.




දශක කිහිපයක් පුරා දේශීය සංගීතය හා සාහිත්‍යය පෝෂණය කිරීමට උන්වහන්සේගෙන් ලැබුණු දායකත්වය සුවිශේෂී වේ. බෞද්ධ සංස්කෘතිය පදනම් කරගත් නිර්මාණ මෙන්ම ප්‍රේමය, ස්වභාවධර්මය, මානව ජීවිතය සහ සමාජයීය තේමාවන් අළලා උන්වහන්සේ විසින් රචනා කරන ලද ගීත රැසක් අතිශය ජනප්‍රියත්වයට පත් විය. "ළ දළු බෝ පත්", "බුදු හාමුදුරුවෝ අපිත් දකින්නැති" සහ "බුදු බණ ඇසුවා" යනු උන්වහන්සේගේ සුප්‍රකට බෞද්ධ ගීත නිර්මාණ අතරින් කිහිපයකි. එමෙන්ම, "සඳකඩපහණ" චිත්‍රපටය වෙනුවෙන් පද රචනය කළ "පෙර සංසාරේ" ගීතය උදෙසා උන්වහන්සේ සරසවිය සම්මානයෙන්ද පිදුම් ලැබූහ.

1950 මැයි 22 වන දින උපත ලැබූ උන්වහන්සේ, සිය ප්‍රාථමික අධ්‍යාපනය මොරවක වැලිව බෞද්ධ මිශ්‍ර පාසලෙන් ලබාගත්හ. පසුව ගාල්ලේ හෙට්ටාවල පිරිවෙන සහ පැපිලියාන සුනෙත්‍රාදේවී පිරිවෙන ඇසුරෙන් උසස් ආගමික හා ශාස්ත්‍රීය අධ්‍යාපනය හදාරන ලදී.