basils-bail-is-forfeited

නීතිවිරෝධී ලෙස උපයාගත් මුදල් යොදවා මාතර ප්‍රදේශයෙන් අක්කර එකහමාරක ඉඩමක් මිලදී ගත් බවට එල්ල වී ඇති චෝදනාවට අදාළ නඩුවට අධිකරණය හමුවේ පෙනී නොසිටීම හේතුවෙන්, හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ තැන්පත් කර තිබූ ඇප මුදල් රාජසන්තක කිරීමට මාතර මහේස්ත්‍රාත් අධිකරණය අඟහරුවාදා (18) නියෝග කළේය.




මාතර, එළියකන්ද පාරේ, බ්‍රවුන්හිල් හි පිහිටි දේපළකට අදාළව පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය (FCID) විසින් ගොනු කර තිබූ මෙම නඩුව මාතර ප්‍රධාන මහේස්ත්‍රාත් චතුර දිසානායක මහතා ඉදිරියේ කැඳවනු ලැබීය.

මෙම නඩුවේ තුන්වැනි විත්තිකරු වන බැසිල් රාජපක්ෂ මහතා, අධිකරණයට පිළිගත හැකි ආකාරයේ වෛද්‍ය වාර්තාවක් පවා ඉදිරිපත් නොකරමින් දිගින් දිගටම අධිකරණය හමුවේ පෙනීසිටීම මඟහැර ඇති බව මෙහිදී අධිකරණය හමුවේ සදහන් විය. එමෙන්ම, ඔහු වෙනුවෙන් ඇපකරුවන් ලෙස අත්සන් තැබූ පුද්ගලයන් තිදෙනාට දඩ නියම කළ මහේස්ත්‍රාත්වරයා, අදාළ දඩ මුදල් නොගෙවන්නේ නම් ඔවුන්ව බන්ධනාගාරගත කිරීමට ද නියෝග කළේය.




මීට අමතරව බැසිල් රාජපක්ෂ මහතාට එරෙහිව නිකුත් කර තිබූ අත්අඩංගුවට ගැනීමේ වරෙන්තුව 2026 ඔක්තෝබර් 27 වැනිදා දක්වා දීර්ඝ කිරීමට අධිකරණය පියවර ගත්තේය.

අඟහරුවාදා නඩුව කැඳවූ අවස්ථාවේදී එහි පළමු සහ දෙවැනි විත්තිකරුවන් අධිකරණය හමුවේ පෙනීසිටි අතර, පැමිණිල්ල වෙනුවෙන් FCID නිලධාරීන් ද, විත්තිය නියෝජනය කරමින් ජනාධිපති නීතිඥ අනිල් ද සිල්වා මහතා ඇතුළු නීතිඥ මණ්ඩලයක් ද පෙනී සිටියහ.