the-story-of-the-mother-who-killed-her-two-children-by-pushing-them-into-malwatu-oya-unfolds-in-the-court

දිට්වා සුළි කුණාටුව හේතුවෙන් පිටාර ගලමින් තිබූ අනුරාධපුර මල්වතු ඔයට සිය බාලවයස්කාර දරුවන් දෙදෙනා තල්ලු කර මරා දැමීමේ සිද්ධියට අදාළ විමර්ශන සටහන්, ඉදිරි උපදෙස් ලබා ගැනීම සඳහා නීතිපතිවරයා වෙත යොමු කරන ලෙස අනුරාධපුර ප්‍රධාන මහෙස්ත්‍රාත් සියපත් සසිඳු වික්‍රමරත්න මහතා අනුරාධපුර මූලස්ථාන පොලිසියට නියෝග කර තිබේ.




මෙම සහසික අපරාධය සම්බන්ධයෙන් මාස දෙකකට අධික කාලයක් රිමාන්ඩ් බන්ධනාගාරගත කර සිටි සැකකාර මව, නීතිඥවරයකු මාර්ගයෙන් අනුරාධපුර මහාධිකරණයට ඉදිරිපත් කළ ඇප අයැදුම්පතක් සලකා බැලීමෙන් අනතුරුව උතුරු මැද පළාත් මහාධිකරණය මගින් මුදල් හා ශරීර ඇප මත මුදා හැරීමට මීට පෙර නියෝග කර තිබුණි. මෙලෙස ඇප මත මුදා හැර ඇත්තේ මොරටුව, අඟුලාන, දුම්රිය පොළ පාර, අංක 13/11 ලිපිනයේ පදිංචි සේනානි ත්‍රිමාවිතාන නමැති දෙදරු මවයි.

අධිකරණය හමුවේ කරුණු දැක්වූ අනුරාධපුර මූලස්ථාන පොලිසියේ නඩු කටයුතු මෙහෙයුම් අංශයේ ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂක කරුණානන්ද වන්නිනායක මහතා සඳහන් කළේ, අධික වර්ෂාව හේතුවෙන් මල්වතු ඔය පිටාර ගලමින් තිබූ මොහොතක, සැකකාරිය ඉකුත් 2 වැනිදා අලුයම් කාලයේදී සිය පිරිමි දරුවා සහ දියණිය ඔයට තල්ලු කර ඇති බවයි. දරුවන් දියෙහි ගිලී මරණයට පත්වීමට සැලැස්වීමෙන් අනතුරුව ඇයද මල්වතු ඔයට පැන සියදිවි නසා ගැනීමට උත්සාහ දරා ඇත.




මෙසේ ඝාතනයට ලක්ව ඇත්තේ තිසුක මීරියගොල්ල සහ සිතුල්යා මීරියගොල්ල නමැති පුතා සහ දියණියයි. ලංකා දණ්ඩ නීති සංග්‍රහයේ 296 වැනි වගන්තිය යටතේ එන මනුෂ්‍ය ඝාතන චෝදනා යටතේ සැකකාර මව අධිකරණය හමුවට ඉදිරිපත් කර තිබේ.

දියපාරට හසුවී මල්වතු ඔයේ ස්ථාන දෙකක සැඟව තිබූ දරුවන්ගේ සිරුරු දින කිහිපයකට පසුව සොයා ගැනුණු අතර, අනුරාධපුර ශික්ෂණ රෝහල් මෘත ශරීරාගාරයේදී පශ්චාත් මරණ පරීක්ෂණ පවත්වන ලදී. ඉන් අනතුරුව අධිකරණ නියෝග මත, මොරටුව අඟුලානේ සිට පැමිණි දරුවන්ගේ සීයා සහ මිත්තණිය වෙත සිරුරු භාර දීමට කටයුතු කෙරිණි. ඔවුන් පෞද්ගලික මල් ශාලාවක් මාර්ගයෙන් දරුවන්ගේ සිරුරු අනුරාධපුර නිසල නිම්නය පොදු සුසාන භූමිය වෙත රැගෙන ගොස් මිහිදන් කර ඇත.