නවීන තාක්ෂණය හඳුන්වා දෙමින් මෙරට කෘෂිකාර්මික ක්ෂේත්‍රය වඩාත් යාවත්කාලීන සහ නවීකරණය වූ තත්ත්වයකට පත් කිරීමට රජය පියවර ගනිමින් සිටින බව කර්මාන්ත හා ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති මහතා ප්‍රකාශ කළේය. මෙම අරමුණ සාක්ෂාත් කර ගැනීම උදෙසා කෘෂිකර්ම අමාත්‍යාංශය සහ කර්මාන්ත හා ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යාංශය ඉතා සමීප සහයෝගිතාවයකින් කටයුතු කරමින් සිටින බව අමාත්‍යවරයා පැවසීය.
කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලා (BMICH) පරිශ්‍රයේදී පැවැති ශ්‍රී ලංකාවේ විශාලතම ආහාර කර්මාන්ත ප්‍රදර්ශනය වන ‘ප්‍රෝ ෆුඩ් - ප්‍රෝ පැක් - ඇග් බිස් සහ නොලේජ් හබ් 2026’ ප්‍රදර්ශනය අමතමින් හෙතෙම මේ බව සඳහන් කළේය.අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති මහතාගේ සහ අමාත්‍යාංශ ලේකම් තිලකා ජයසුන්දර මහත්මියගේ ප්‍රධානත්වයෙන් පසුගිය සිකුරාදා ආරම්භ වූ මෙම ප්‍රදර්ශනය සාර්ථක ලෙස ඊයේ අවසන් විය. ශ්‍රී ලංකා ආහාර ඇසුරුම්කරුවන්ගේ සංගමය විසින් කර්මාන්ත හා ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යාංශය හා එක්ව 23 වන වරටත් සංවිධානය කරන ලද මෙම ප්‍රදර්ශනය සඳහා ප්‍රදර්ශන කුටි 450 ක් ඇතුළත් වූ අතර, චීනය, ඉන්දියාව සහ ජර්මනිය ඇතුළු රටවල් නියෝජනය කරමින් විදේශීය ප්‍රදර්ශකයෝ ද ඊට එක්ව සිටියහ.
ව්‍යාපාරයෙන් පාරිභෝගිකයාට (B2C) සහ ව්‍යාපාරයෙන් ව්‍යාපාරයට (B2B) සම්බන්ධතා ගොඩනැගීම අරමුණු කරගත් මෙම ප්‍රදර්ශනය, ඇසුරුම්කරණ විශේෂඥයන්, අපනයනකරුවන්, සිල්ලර වෙළෙන්දන්, නිෂ්පාදකයින්, ආහාර සකසන්නන්, බෙදාහරින්නන්, ව්‍යවසායකයින්, ආයෝජකයින් සහ පාරිභෝගිකයින් එකම පරිශ්‍රයකට එක් කරන ප්‍රමුඛතම වේදිකාවකි. එමගින් ජාලකරණය, දැනුම හුවමාරු කරගැනීම සහ ව්‍යාපාරික වර්ධනය සඳහා වටිනා අවස්ථාවන් රැසක් උදාවන බව අමාත්‍ය හඳුන්නෙත්ති මහතා පෙන්වා දුන්නේය.
ශ්‍රී ලංකාවේ සුළු හා මධ්‍ය පරිමාණ ආහාර සකසන්නන් උදෙසාම විශේෂයෙන් නිර්මාණය කරන ලද 'SME Pavilion' හරහා සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන්ට (SMEs) තමන්ගේ නවෝත්පාදනයන් ප්‍රදර්ශනය කිරීමටත්, නව වෙළඳපල අවස්ථාවන් දිනා ගැනීමටත් කර්මාන්ත හා ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යාංශය විසින් අගනා අවස්ථාවක් සලසා දී ඇත.
