
දිවයිනේ තංගල්ල, අනුරාධපුර සහ ගාල්ල යන පොලිස් වසම්වලින් 2026 අගෝස්තු 28 වන දින මනුෂ්‍ය ඝාතන සිදුවීම් තුනක් වාර්තා වී තිබේ.
තංගල්ල පොලිස් වසමට අයත් මහගොඩ ප්‍රදේශයේදී අගෝස්තු 28 වන දින රාත්‍රී කාලයේ සිදු වූ පහරදීමකින් බරපතල තුවාල ලැබූ පුද්ගලයෙකු තංගල්ල රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගොස් ඇත. මෙලෙස මියගොස් ඇත්තේ මහගොඩ ප්‍රදේශයේ පදිංචිව සිටි 35 හැවිරිදි පුද්ගලයෙකි. මියගිය අය සහ ඔහුගේ සහෝදරයා අතර ඇති වූ බහින්බස්වීමක් දුරදිග යාමෙන් මෙම පොලු පහරදීම සිදුව ඇති බවට මූලික විමර්ශනවලදී හෙළි වී තිබේ. සිද්ධියට සම්බන්ධ 28 හැවිරිදි සැකකරු අත්අඩංගුවට ගෙන ඇති අතර තංගල්ල පොලීසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.
එදිනම උදෑසන කාලයේ අනුරාධපුර කොරකහවැව වැව් රක්ෂිත ප්‍රදේශයේදී තියුණු ආයුධයකින් පහරදී කාන්තාවක ඝාතනය කර ඇත. මෙම ප්‍රහාරයෙන් ජීවිතක්ෂයට පත්ව ඇත්තේ උලුක්කුලම ප්‍රදේශයේ පදිංචිව සිටි 60 හැවිරිදි කාන්තාවකි. මරණකාරිය සහ ඇගේ සැමියා අතර ඇති වූ ආරවුලක් දුරදිග යාමෙන් සැමියා විසින් මෙම පහරදීම සිදුකර ඇති බවට විමර්ශනවලදී අනාවරණය වී තිබේ. සිද්ධියෙන් පසු සැකකරුද සිය සිරුරට තුවාල සිදුකරගෙන ඇති අතර ඔහු දැනට අනුරාධපුර රෝහලේ ප්‍රතිකාර ලබයි. අනුරාධපුර පොලීසිය මේ පිළිබඳව වැඩිදුර විමර්ශන මෙහෙයවයි.
මේ අතර, ගාල්ල ගල්වල ප්‍රදේශයේදී අගෝස්තු 28 වන දින රාත්‍රියේ දෙපිරිසක් අතර ඇති වූ ගැටුමකදී තියුණු ආයුධයකින් පහරදීම හේතුවෙන් බරපතල තුවාල ලැබූ 24 හැවිරිදි ගාල්ල ප්‍රදේශයේ පදිංචිකරුවෙකු ගාල්ල රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගොස් තිබේ. පරණ අමනාපකමක් දුරදිග යාමෙන් හටගත් මෙම ගැටුමේදී තුවාල ලැබූ තවත් පුද්ගලයින් දෙදෙනෙකු ගාල්ල රෝහලට ඇතුළත් කර ඇත. මෙම ඝාතනයට සම්බන්ධ වලව්වත්ත ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 19 සහ 29 පසුවන සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර ගාල්ල පොලීසිය වැඩිදුර පරීක්ෂණ සිදු කරයි.
