many-leading-australian-investors-are-ready-for-new-investment-opportunities-in-sri-lanka

ඕස්ට්‍රේලියාවේ මෙල්බර්න් නුවරදී පැවැති විශේෂ ආයෝජන සාකච්ඡා වටයකදී, ශ්‍රී ලංකාවේ ප්‍රධාන ක්ෂේත්‍ර රැසක සෘජු විදේශ ආයෝජන (FDI) සිදු කිරීමට එරට ප්‍රමුඛ පෙළේ ව්‍යවසායකයින් සහ ආයෝජකයින් පිරිසක් ඉදිරිපත් වී තිබේ. නිෂ්පාදන ආර්ථිකය බලගන්වමින් විදේශීය ආයෝජන දිනාගැනීමේ ජාතික වැඩපිළිවෙළ තවදුරටත් ශක්තිමත් කරමින් සංවිධානය වූ මෙම සාකච්ඡා මාලාව වික්ටෝරියා ප්‍රාන්තයේ ක්ලයිඩ් නෝර්ත් (Clyde North) හිදී සාර්ථකව පවත්වා ඇත.




කර්මාන්ත හා ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැති මෙම හමුව සඳහා ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ (BOI) නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයා, ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලයේ (EDB) සභාපතිවරයා ඇතුළු රාජ්‍ය දූත පිරිසක් එක්ව සිටියහ. මෙම සාකච්ඡාවලදී ECOGEN ආයතනය හරහා තිරසාර බලශක්ති විසඳුම් ලබාදීම මෙන්ම AusLoop Global Solutions ආයතනය මගින් ඇඟලුම් ක්ෂේත්‍රයට අදාළ තිරසාර ප්‍රතිචක්‍රීකරණ ක්‍රියාවලීන් ශ්‍රී ලංකාව තුළ ආරම්භ කිරීම සම්බන්ධයෙන් දැඩි අවධානයක් යොමු විය.

දේශීය කිරි නිෂ්පාදනය ඉහළ නැංවීමේ අරමුණින්, FRMAFIRST ආයතනය හරහා දෙනුන් 2,000ක ධාරිතාවකින් යුතු මහා පරිමාණ වාණිජ කිරි ගොවිපළක් පිහිටුවීමටත්, දේශගුණික විපර්යාසයන්ට සාර්ථකව මුහුණ දිය හැකි පශු සම්පත් අභිජනන ව්‍යාපෘතියක් හඳුන්වා දීමටත් මෙහිදී අවධානය යොමු කෙරිණි. මීට අමතරව, කාර්මික සංවර්ධන මණ්ඩලයට (IDB) අයත් ඒකල කාර්මික ජනපදයේදී ප්‍රතිචක්‍රීකරණය කරන ලද ප්ලාස්ටික් භාවිතයෙන් ත්‍රිමාණ මුද්‍රණ (3D Printing) තාක්ෂණය සහ අමතර උපාංග නිපදවන කර්මාන්තශාලාවක් ඉදිකිරීමට ආයෝජකයෝ කැමැත්ත පළ කළහ.




තවද, ඒකාබද්ධ ජලජීවී වගා ව්‍යාපෘති, මාරවිල ප්‍රදේශය කේන්ද්‍ර කරගත් පරිසර හිතකාමී සංචාරක හෝටල් සංකීර්ණ, OSCS Holdings හරහා සිදු කෙරෙන ආහාර සැකසුම් කර්මාන්ත මෙන්ම FLEXIMAKE ආයතනය හා සම්බන්ධ විවිධ ආයෝජන ව්‍යාපෘති ශ්‍රී ලංකාව තුළ ක්‍රියාත්මක කිරීමටද මෙහිදී එකඟතාව පළ විය. වත්මන් රජය යටතේ මෙරට ව්‍යාපාරික පරිසරය තුළ ඇති වී තිබෙන විනිවිදභාවය, විශ්වාසනීයත්වය සහ රාජ්‍ය අනුග්‍රහය අගය කළ ආයෝජකයන්, මෙම ව්‍යාපෘති සියල්ල කඩිනමින් ආරම්භ කිරීම සඳහා අවශ්‍ය ඉදිරි පියවර ගැනීමට පූර්ණ එකඟතාව පළ කළහ.

many-leading-australian-investors-are-ready-for-new-investment-opportunities-in-sri-lanka

many-leading-australian-investors-are-ready-for-new-investment-opportunities-in-sri-lanka

many-leading-australian-investors-are-ready-for-new-investment-opportunities-in-sri-lanka