laws-related-to-the-inspection-of-mechanical-defects-of-vehicles-before-accidents-will-be-passed

මගී ප්‍රවාහන රථවල පවතින ව්‍යුහාත්මක සහ යාන්ත්‍රික දෝෂ හේතුවෙන් සිදුවන බරපතළ මාර්ග අනතුරු වළක්වා ගනිමින් මාර්ග ආරක්ෂාව තහවුරු කිරීම සඳහා සකස් කරන ලද 2026 අංක 03 දරන මෝටර් වාහන (පරීක්ෂා කිරීමේ) නියෝගය පාර්ලිමේන්තුවේ අනුමැතිය සඳහා ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ. ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍යවරයා විසින් ඉදිරිපත් කරනු ලැබූ මෙම යෝජනාව සඳහා අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය හිමිව තිබෙන අතර, මෝටර් වාහන පනත යටතේ අදාළ විධිවිධාන ඇතුළත් අතිවිශේෂ ගැසට් පත්‍රය 2026 මැයි 19 වන දින අංක 2489/22 යටතේ ප්‍රකාශයට පත් කර ඇත.




මෝටර් රථ පරීක්ෂකවරුන් විසින් මෑතකදී සිදුකරන ලද විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ ධාවනයේ යෙදෙන වාහනවල පවතින යාන්ත්‍රික සහ ව්‍යුහාත්මක දෝෂ රැසක් මෑතකදී සිදුවූ බොහෝ අනතුරුවලට ඍජුවම හේතු වී ඇති බවයි. මෙම තත්ත්වයට පිළියම් යොදමින් මගී ප්‍රවාහන සේවා, පාසල් ප්‍රවාහන සේවා, කාර්යාල ප්‍රවාහන සේවා මෙන්ම විශේෂ විනෝද සවාරි සඳහා භාවිත කරන කුලී රථවල ධාවන යෝග්‍යතාව පරීක්ෂා කිරීම සඳහා විධිමත් සහ නිල පටිපාටියක් ස්ථාපිත කිරීමේ හදිසි අවශ්‍යතාව බලධාරීන් විසින් හඳුනාගෙන තිබේ.

මෙලෙස අලුතින් හඳුන්වා දෙනු ලබන පරීක්ෂණ ක්‍රමවේදයට ජාතික ගමනාගමන කොමිෂන් සභාව, පළාත් මගී ප්‍රවාහන අධිකාරි සහ ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය යන ආයතනවල නියාමනය යටතේ ක්‍රියාත්මක වන සියලුම ප්‍රවාහන සේවාවන් යටත් වේ.