standard-chartered-will-leave-sri-lanka-by-referring-customers-to-dfcc

Standard Chartered ශ්‍රී ලංකා හි ධන කළමනාකරණ සහ පුද්ගලික බැංකුකරණ ව්‍යාපාරය අත්පත් කරගැනීමේ ක්‍රියාවලිය සාර්ථකව නිම කිරීමට DFCC බැංකුව සමත්ව තිබේ. මෙම වැදගත් උපායමාර්ගික පියවරත් සමඟ Standard Chartered බැංකුවේ පාරිභෝගිකයින් 50,000 කට ආසන්න ප්‍රමාණයක් මෙන්ම අදාළ ව්‍යාපාරික අංශයේ සේවකයින් ද මේ වන විට DFCC බැංකු ජාලය සමඟ සෘජුවම එක්ව සිටිති.




මෙම අත්පත් කරගැනීමට ප්‍රමුඛතා බැංකුකරණ සේවා, තැන්පතු, ක්‍රෙඩිට් කාඩ්, පුද්ගලික ණය ලබාදීම්, ධන කළමනාකරණය සහ සුළු හා මධ්‍යම පරිමාණ ව්‍යවසාය (SME) යන ක්ෂේත්‍රවල ගනුදෙනුකාර සබඳතා මෙන්ම තෝරාගත් මෙහෙයුම් වත්කම් ද ඇතුළත් වේ. මෙම සංක්‍රාන්තිය හේතුවෙන් DFCC බැංකුවේ පුද්ගලික බැංකුකරණ, ධන කළමනාකරණ සහ SME අංශයන්හි ධාරිතාව ඉහළ යන අතර, එම ව්‍යාපාරික පරාසය සහ සේවා ව්‍යාප්තිය තවදුරටත් ශක්තිමත් වේ.

ආයතන ද්විත්වය අතර පැවැති මාස ගණනාවක සමීප සහයෝගීතාව සහ පූර්ව සූදානම නිසා ගනුදෙනුකරුවන්ට කිසිදු බාධාවකින් තොරව සිය එදිනෙදා බැංකු කටයුතු පවත්වාගෙන යාමට පරිසරය සකස් කර ඇත. ගනුදෙනුකරුවන්ට තමන් භාවිත කළ Standard Chartered ගිණුම් අංක, නව DFCC බැංකු ගිණුම් අංකවලට අමතරව තවදුරටත් භාවිත කළ හැකි අතර, පවතින ඩෙබිට් හා ක්‍රෙඩිට් කාඩ්පත්, PIN අංක, ස්ථාවර නියෝග, සෘජු ගිණුම් හරකිරීම් සහ නැවත නැවත සිදුවන ගෙවීම් ද පෙර පරිදිම ක්‍රියාත්මක වේ.




බැංකුවක් මාරු කිරීමේදී පාරිභෝගිකයින් මුහුණ දෙන ප්‍රධානතම අපහසුතාවයක් මඟහරවමින්, මීට පෙර සුරක්ෂිත කර තිබූ ගෙවීම් ලබන්නන්ගේ (saved payees and beneficiaries) තොරතුරු DFCC ONE සහ DFCC iConnect යන ඩිජිටල් බැංකුකරණ යෙදවුම් වෙත ආරක්ෂිතව යොමු කර තිබේ. එසේම, දැනට යම් ශාඛාවක් හෝ සම්බන්ධතා කළමනාකරුවෙකු හරහා සේවා ලබාගන්නා ගනුදෙනුකරුවන්ට, තමන්ට හුරුපුරුදු එම ශාඛා සහ නිලධාරීන් හරහාම තවදුරටත් සිය බැංකු කටයුතු සිදු කිරීමට පහසුකම් සලසා ඇත.

DFCC බැංකුව හා එක්වූ නව ගනුදෙනුකරුවන්ට දැන් දිවයින පුරා පිහිටි DFCC බැංකු ශාඛා 130 කට අධික සංඛ්‍යාවකට සහ LankaPay ජාලය හරහා ATM යන්ත්‍ර 5,000 කට වැඩි ප්‍රමාණයකට ප්‍රවේශය හිමිවේ. ඊට අමතරව, DFCC ONE, DFCC iConnect, විශේෂිත පාරිභෝගික සේවා නාලිකා මෙන්ම සුදුසුකම් ලබන ගනුදෙනුකරුවන්ට බැංකුවේ විශිෂ්ටතම බැංකුකරණ සේවාව වන DFCC Pinnacle සේවාව ලබා ගැනීමේ අවස්ථාව ද උදාවී ඇත.



මෙම ක්‍රියාවලිය පිළිබඳව අදහස් දක්වමින් DFCC බැංකුවේ ප්‍රධාන විධායක නිලධාරී තිමල් පෙරේරා මහතා සඳහන් කළේ, අතිශය සංකීර්ණ තාක්ෂණික වෙනස්කම් ගනුදෙනුකරුවන්ට අවම වශයෙන්වත් නොදැනෙන අයුරින් ඉටු කිරීමට සමත් වූ බවයි. මෙම සාර්ථකත්වය වෙනුවෙන් කැපවූ බැංකු දෙකෙහිම කණ්ඩායම්වලට, ශ්‍රී ලංකා මහ බැංකුවට සහ තාක්ෂණික පාර්ශවකරුවන්ට කෘතඥතාව පළ කළ ඒ මහතා, නව ගනුදෙනුකරුවන් සහ සේවකයින් DFCC බැංකුව වෙත සාදරයෙන් පිළිගන්නා බව ද පැවසීය.

Standard Chartered Sri Lanka හි ප්‍රධාන විධායක නිලධාරී බිංඟුමාල් තෙවරාතන්ත්‍රි මහතා සඳහන් කළේ මෙම පියවර Standard Chartered සමූහයේ ගෝලීය උපායමාර්ගයට අනුකූලව ගත් එකක් බවයි. එමගින් සිය ආයතනය සතුව වැඩිම ශක්තියක් ඇති ක්ෂේත්‍ර කෙරෙහි වැඩි අවධානයක් යොමු කිරීමට අවස්ථාව ලැබෙන බව පැවසූ ඒ මහතා, වසර ගණනාවක් පුරා තැබූ විශ්වාසය වෙනුවෙන් ගනුදෙනුකරුවන්ට ස්තූති කරමින් DFCC බැංකුව හා එක්වූ පාරිභෝගිකයින්ට සහ කාර්ය මණ්ඩලයට අනාගත සුභ පැතුම් එක් කළේය.