how-vehicle-prices-rise-with-the-extension-of-taxation

අගෝස්තු 15 වැනිදායින් අවසන් වීමට නියමිතව තිබූ සියයට 50ක ආනයන බදු අධිභාරය ලබන දෙසැම්බර් 31 වැනිදා දක්වා දීර්ඝ කිරීමට රජය පියවර ගෙන තිබේ. මෙකී බදු පැනවීම දීර්ඝ කිරීමත් සමඟ ඉදිරි කාලයේදී මෙරට වෙළඳපොළේ වාහන මිල ගණන් සැලකිය යුතු මට්ටමකින් ඉහළ යනු ඇති බව ශ්‍රී ලංකා වාහන ආනයනකරුවන්ගේ සංගමය පෙන්වා දෙයි.




රජයේ මෙම තීරණය හේතුවෙන් දැනට ප්‍රදර්ශනාගාර තුළ පවතින වාහනවල මිල ගණන් ඉහළ යන ආකාරය පිළිබඳව ශ්‍රී ලංකා වාහන ආනයනකරුවන්ගේ සංගමයේ සභාපති ප්‍රසාද් මානගේ මහතා තොරතුරු අනාවරණය කළේය. ඒ අනුව සුසුකි වැගන් ආර් රථයක මිල රුපියල් 500,000කින් පමණ ද, ටොයෝටා රෙයිස් රථයක මිල රුපියල් මිලියන එකකින් ද, හොන්ඩා වෙසල් රථයක මිල රුපියල් මිලියන 1.5 සිට 2 දක්වා ප්‍රමාණයකින් ද ඉහළ යාමට නියමිතය. මීට අමතරව ඩබල් කැබ් රථ සඳහා රුපියල් මිලියන 2 සිට 2.5 දක්වා ද, ටොයෝටා ප්‍රාඩෝ රථ සඳහා රුපියල් මිලියන 3කින් සහ ලෑන්ඩ් කෲසර් රථ සඳහා රුපියල් මිලියන 5කින් ද ආසන්න වශයෙන් මිල ගණන් ඉහළ යනු ඇත.

වර්තමාන වෙළඳපොළේ පවතින වාහන අතුරින් සියයට 90ක්ම මැයි 15 දිනට පෙර විවෘත කරන ලද ණයවර ලිපි යටතේ මෙරටට ගෙන්වන ලද ඒවා බැවින් එම වාහන අදාළ අධිභාරයෙන් නිදහස් වන බව සභාපතිවරයා පැහැදිලි කළේය. කෙසේ වෙතත්, මැයි 15 වැනිදායින් පසුව විවෘත කරන ලද ණයවර ලිපි හරහා ආනයනය කරන ලද වාහන මේ වන විට නිදහස් කරගැනීම ආරම්භ කර ඇති අතර, එම වාහන සඳහා මෙලෙස ඉහළ නැංවූ බදු මුදල සෘජුවම අදාළ වේ.




දිගින් දිගටම මෙලෙස අධිභාර පැනවීම හේතුවෙන් වෙළඳපොළ තුළ දැඩි අවිනිශ්චිතතාවක් සහ උච්ඡාවචනයන් නිර්මාණය වන බව පෙන්වා දෙන ඒ මහතා, නිතර නිතර මිල ගණන් වෙනස් කරනවා වෙනුවට ස්ථාවර බදු ප්‍රතිපත්තියක් ක්‍රියාත්මක කිරීමේ වැදගත්කම අවධාරණය කරයි. එමෙන්ම ණයවර ලිපි පාලනය කිරීම හෝ වෙනත් විකල්ප ක්‍රමවේද ඔස්සේ අධික ලෙස මිල ඉහළ යාම වැළැක්වීමටත්, ආනයන සීමා කරමින් වෙළඳපොළ ස්ථාවරව පවත්වා ගැනීමටත් පියවර ගන්නා ලෙස සභාපති ප්‍රසාද් මානගේ මහතා වැඩිදුරටත් සඳහන් කරයි.