godagama-car-sale-owner-arrested-for-defrauding-crores

හෝමාගම, ගොඩගම ප්‍රදේශයේ පවත්වාගෙන ගිය වාහන අලෙවි මධ්‍යස්ථානයක් හරහා රථවාහන මිලදී ගන්නන් සහ විකුණන්නන් මුලා කරමින් රුපියල් කෝටි පහකට ආසන්න මුදලක් වංචා කළ බවට චෝදනා ලැබූ එහි හිමිකරු අද (25) දක්වා රිමාන්ඩ් භාරයේ තැබීමට හෝමාගම වැඩ බලන මහේස්ත්‍රාත් ප්‍රියංකා මද්දුමපටබැඳි මෙනවිය නියෝග කළාය. මෙලෙස බන්ධනාගාරගත කරනු ලැබුවේ මහබද්දගේ චාමර හවන්ත නමැති සැකකරුවෙකි.

සිද්ධිය සම්බන්ධයෙන් අගතියට පත් පුද්ගලයන් 15 දෙනෙකු පමණ මීගොඩ පොලිස් ස්ථානයට කරන ලද පැමිණිලි පදනම් කරගනිමින් සැකකරු අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කර තිබේ.




මීට පෙර අවස්ථාවකදී මීගොඩ පොලිසියේ අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපතිවරයා සැකකරුගේ වාහනය හරස් කර අත්අඩංගුවට ගැනීමට උත්සාහ කළ අවස්ථාවේදී, සැකකරු එම පොලිස් නිලධාරියා හප්පා පළා යාමට උත්සාහ කර ඇත. ඒ අනුව මනුෂ්‍ය ඝාතනයක් සිදු කිරීමට තැත් කිරීමේ චෝදනාව ද ඇතුළත්ව පොලිසිය අධිකරණයට කරුණු වාර්තා කිරීමට කටයුතු කර තිබුණි. එමෙන්ම ලබා දී ඇති පැමිණිලි සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබා දීමට මීගොඩ පොලිසිය වෙත පැමිණෙන ලෙස දැනුම් දුන්නද, මාස 3 කට ආසන්න කාලයක් සැකකරු පොලිසිය වෙත නොපැමිණි බව පැවසෙයි. මේ හේතුවෙන් අදාළ වංචාවලට අනුබල දීමේ චෝදනාව මත සැකකරුගේ බිරිඳ සහ අලෙවි ආයතනයේ කළමනාකරු අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව සැප්තැම්බර් 01 වනදා දක්වා රිමාන්ඩ් කර ඇත.

අධිකරණයේදී අනාවරණය වූ කරුණුවලට අනුව, සැකකරු සති අන්ත පුවත්පත්වල පළවන වාහන අලෙවි දැන්වීම්වල ඇති දුරකථන අංකවලට ඇමතුම් ලබා දෙමින්, අදාළ වාහන සති දෙකක් ඇතුළත අලෙවි කර දිය හැකි බව පවසා තම ස්ථානයට ගෙන්වාගෙන තිබේ. පසුව එම වාහන විකිණීමට ඇති බවට තමා විසින්ම පුවත්පත් දැන්වීම් පළකරමින්, ඒවා මිලදී ගැනීමට පැමිණෙන ගැණුම්කරුවන්ට මුල් හිමිකම් පොත නොමැතිව යම් මුදලක් අඩු කර වාහනය විකුණා ඇත. හිමිකම් පොත ලබාදීමෙන් පසු ඉතිරි මුදල ගෙවන ලෙස ගැණුම්කරුවන්ට දැනුම් දෙමින්, මුල් හිමිකරුට හොර රහසේ අදාළ වාහන අලෙවි කිරීමට සැකකරු කටයුතු කර ඇති බව පොලිසිය අනාවරණය කළේය.




වාහන අලෙවි කිරීමෙන් පසුව එහි මුල් හිමිකරුවන්ටද සුළු මුදලක් ගිණුම්ගත කරමින් එය අත්තිකාරම් මුදලක් පමණක් ලෙස දක්වා ඔවුන්වද මුලා කර ඇති බව පොලිසිය අධිකරණය හමුවේ කරුණු දැක්වීය. මෙකී මුදල් වංචාවන් සම්බන්ධයෙන් හෝමාගම විශේෂ වංචා විමර්ශන කොට්ඨාසය වෙතද රුපියල් මිලියන 150 කට ආසන්න වටිනාකමකින් යුත් පැමිණිලි ලැබී ඇති බව පොලිසිය වැඩිදුරටත් පැවසීය.

මීගොඩ පොලිසියේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක දිනුක වීරසිංහ මහතාගේ උපදෙස් මත, සුළු පැමිණිලි අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ජයවික්‍රම, උප පොලිස් පරීක්ෂක රුසිරු, පොලිස් සැරයන් (44552) සමන්, පොලිස් කොස්තාපල්වරුන් වන (92518) ලක්මාල් සහ (102009) සංකල්ප යන නිලධාරීහු මේ පිළිබඳ වැඩිදුර විමර්ශන පවත්වති.