
බදුල්ල ශික්ෂණ රෝහලේ සේවය කළ නිර්වින්දන විශේෂඥ වෛද්‍ය ප්‍රභාත් දයාරත්න මහතා අතුරුදන් වීමෙන් පසු ඔහුගේ අජීවී සිරුර සොයා ගැනීමේ පුවතින් මුළු මහත් සෞඛ්‍ය ක්ෂේත්‍රයම දැඩි කම්පනයට පත්ව තිබේ. අගෝස්තු 23 වන දින උදෑසන රෝහල් රාජකාරිවල නිරතව සිටියදී හදිසියේම අතුරුදන් වූ ඒ මහතා සෙවීම සඳහා පොලීසිය සහ ආරක්ෂක අංශ වහාම පුළුල් විමර්ශනයක් ආරම්භ කරන ලදී.
විමර්ශන අතරතුර මීගහකිවුල ප්‍රදේශයේ සවි කර තිබූ සීසීටීවී කැමරා දර්ශන පරීක්ෂා කිරීමේදී වෛද්‍යවරයාගේ මෝටර් රථය මහියංගනය දෙසට ධාවනය වන ආකාරය නිරීක්ෂණය විය. පසුව බදුල්ල සහ මහියංගනය ප්‍රධාන මාර්ගයේ මාපාකඩවැව 17 කනුව ප්‍රදේශයේ වියන ඇළ ආසන්නයේ අතහැර දමා තිබූ එම මෝටර් රථය සොයා ගැනීමට බලධාරීන්ට හැකි විය.
වාහනය පමණක් අලි ගැවසෙන මෙම කැලෑබද ප්‍රදේශයේ තිබී හමු වීමත් සමඟ ප්‍රදේශවාසීන්, පොලීසිය, අපරාධ ස්ථාන පරීක්ෂක නිලධාරීන් සහ යුද හමුදාව එක්ව ඒකාබද්ධ සෝදිසි මෙහෙයුමක් දියත් කළහ. එහි ප්‍රතිඵලයක් ලෙස අගෝස්තු 24 වන දින උදෑසන රථය අසල වූ ලඳු කැලෑවක් තුළ තිබී වෛද්‍යවරයාගේ සිරුර හමු වූ අතර, සිරුර ආසන්නයේ තිබී ඖෂධ පැකට්ටුවක්ද ආරක්ෂක අංශ භාරයට ගෙන ඇත.
වෛද්‍යවරයාගේ මරණය සියදිවිනසාගැනීමක්ද යන්න ගැන පරීක්ෂණ සිදුවේ. මෙම ඛේදජනක සිදුවීමට හේතුවූ පසුබිම අනාවරණය කර ගැනීම සඳහා මහියංගනය පොලීසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.
