
අනියම් ප්‍රේම සබඳතාවක් මුල් කරගනිමින් විශ්‍රාමික යුද හමුදා සෙබළෙකු පැහැරගෙන ගොස් ඝාතනය කිරීමේ සිදුවීමට අදාළව හිටපු ගුවන් හමුදා සෙබළෙකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් අත්අඩංගුවට ගෙන තිබේ. මීට වසර නවයකට පමණ පෙර සිදු වූ බව කියන මෙම අපරාධය සම්බන්ධයෙන් සැකපිට ප්‍රශ්න කිරීම සඳහා පසුගිය අගෝස්තු 08 වනදා අදාළ සැකකරු අත්අඩංගුවට ගෙන ඇත.
මෙලෙස ඝාතනයට ලක්ව ඇත්තේ කිරිඳිවැල, නාරංගස්පිටිය ප්‍රදේශයේ පදිංචිව සිටි නිශ්ශංක ආරච්චි අප්පුහාමිලාගේ අඹර සිරි නිශ්ශංක නමැති විශ්‍රාමික යුද හමුදා සෙබළාය. 2018 වසරේ සැප්තැම්බර් මස 09 වැනිදා සිදු වූ මෙම අතුරුදන් වීමෙන් පසුව, සෙබළා පැහැරගෙන ගොස් ඝාතනය කර සිරුර කුරුවිට ගඟට දමා ඇති බවට තොරතුරු ලැබී ඇත. මෙම අපරාධය සඳහා කාන්තාවකගේ ද සම්බන්ධයක් පවතින බව පරීක්ෂණවලදී අනාවරණය වී තිබේ.
මෙම ඝාතනයේ ප්‍රධාන සැකකරු වන 47 හැවිරිදි ව්‍යාපාරිකයෙකු ඉකුත් ජූනි මස 09 වැනිදා රන්පොකුණගම ප්‍රදේශයේදී අත්අඩංගුවට ගැනුණි. විදේශයක නිෂ්පාදිත පෑනක හැඩැති කුඩා ගිනි අවියක් සහ ජීව උණ්ඩ තොගයක් සමඟ අත්අඩංගුවට පත් වූ ඔහු, මනුෂ්‍ය ඝාතන හා සංවිධානාත්මක අපරාධ විමර්ශන අංශයේ රැඳවුම් නියෝග මත තබාගෙන මේ වන විටත් පරීක්ෂණවලට ලක් කෙරෙමින් පවතී.
අදාළ විමර්ශනවලදී ලද තොරතුරුවලට අනුව උප පොලිස් පරීක්ෂක පියල් දුණුසිංහ මහතා ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් සැකකාර හිටපු ගුවන් හමුදා සෙබළා සෙවීම සඳහා ඌරගස්මංහන්දිය ප්‍රදේශයට ගියද ඔහු ප්‍රදේශය අත්හැර පලා ගොස් තිබිණි. අනතුරුව කොළඹ - ගාල්ල ප්‍රධාන මාර්ගයේ කුඩා වස්කඩුව ප්‍රදේශයේදී මොහුව අත්අඩංගුවට ගෙන ඇති අතර, ඒ වන විටත් ඔහු සන්තකයේ ගංජා ග්‍රෑම් 20 ක් තිබී ඇත.
සැකකාර හිටපු ගුවන් හමුදා සෙබළාගෙන් කළ ප්‍රශ්න කිරීම්වලදී හෙළි වී ඇත්තේ, ඇඹිලිපිටිය සහ අවිස්සාවේල්ල මහාධිකරණවල පවතින ව්‍යාජ මුදල් නෝට්ටු මුද්‍රණය සහ කප්පම් ගැනීම් සම්බන්ධ නඩුවලට ඉදිරිපත් නොවීම නිසා මොහුට විවෘත වරෙන්තු නිකුත්ව තිබූ බවයි. තවද රුපියල් 15,000 ක දඩයක් සහ වසර දෙකක බරපතළ වැඩ සහිත සිරදඬුවමක් නියම වී සිටි අයෙකු වන මොහු, එම දඩය නොගෙවන්නේ නම් ලිහිල් වැඩ සහිතව තවත් මාස තුනක සිරදඬුවමකට ද යටත් කර ඇති අයෙකු බව හෙළි වී තිබේ.