good-times-for-the-south-african-economy-as-lithium-demand-for-batteries-rises

දකුණු අප්‍රිකාවේ ආර්ථිකය නංවාලීමේ අරමුණින් හරිත බලශක්තිය සඳහා අවශ්‍ය බැටරි නිෂ්පාදනයට ලිතියම් කැණීම් කටයුතු පුළුල් වෙමින් පවතී. කෙසේ වෙතත්, මෙම ව්‍යාපෘති හේතුවෙන් තමන්ගේ සාරවත් ගොවිබිම් විවෘත පතල් බවට පත්වනු ඇතැයි බියෙන් පසුවන දහස් ගණනක් වූ ගොවීන්ගෙන් මීට දැඩි විරෝධයක් එල්ල වී තිබේ.




2023 වසරේ සිට මේ දක්වා ගිනිකොනදිග වෙරළ තීරයේ ලිතියම් කැණීම් බලපත්‍ර රැසක් නිකුත් කර ඇති අතර, ඒ හේතුවෙන් පරම්පරා ගණනාවක් පුරා එහි ජීවත් වූ ගොවි ප්‍රජාවන්ට තම වාසස්ථාන අතහැර යාමට සිදුව ඇත. පතල් දෙපාර්තමේන්තු දත්ත වලට අනුව මෙම කැණීම් සඳහා වෙන්කර ඇති භූමි ප්‍රමාණය හෙක්ටයාර 73,000ක් පමණ වන අතර එය ප්‍රිටෝරියා නගරයට ද වඩා විශාල ප්‍රදේශයකි. ඊට ගොවිපළවල් 117ක් මෙන්ම වෙරළ තීරයන් ද ඇතුළත් වේ. දැනට පවතින පතලද හෙක්ටයාර 150ක වළවල් සහ හෙක්ටයාර 180ක අපද්‍රව්‍ය බැහැර කරන ස්ථාන දක්වා පුළුල් කිරීමට සැලසුම් කර ඇත.

මෙම තත්ත්වය හේතුවෙන් කෘෂිකාර්මික හා සංචාරක ක්ෂේත්‍රවල රැකියා 30,000කට පමණ තර්ජනයක් එල්ල වී ඇති බව 'South Coast Guardians Association' (SCGA) නම් සංවිධානය පෙන්වා දෙයි. සුළු හා මහා පරිමාණ ගොවීන් දහස් ගණනකගේ මෙට්‍රික් ටොන් මිලියන 2ක පමණ උක් අස්වැන්න හසුරුවන කර්මාන්තශාලා සහ ප්‍රාදේශීය ව්‍යාපාරික ස්ථානවලට මෙමගින් දැඩි ව්‍යසනකාරී බලපෑමක් එල්ල වන බව එම සංවිධානයේ සාමාන්‍යාධිකාරී හෙදර් මැක්ලියොඩ් ප්‍රකාශ කරයි.




දකුණු අප්‍රිකානු ජනාධිපති සිරිල් රමපෝසා පසුගිය පෙබරවාරි මාසයේදී පාර්ලිමේන්තුවට දැනුම් දුන්නේ රට සතුව ඩොලර් ට්‍රිලියන 2.39ක (රෑන්ඩ් ට්‍රිලියන 40ක) පමණ වටිනාකමකින් යුත් ඛනිජ සම්පත් පවතින බවත්, එය රැකියා උත්පාදනය කළ හැකි මෙන්ම කාර්මික පදනම ශක්තිමත් කළ හැකි "නැගී එන කර්මාන්තයක්" බවත්ය. නමුත්, ක්වාසුලු-නටාල් පළාතේ මැගොග් ගම්මානයේ ජීවත් වන 62 හැවිරිදි ඇල්බට් එම්තෙම්බු වැනි ගම්වාසීන්ට පතල් පිපිරවීම් හේතුවෙන් තම නිවාසවල ඉරිතැලීම් මෙන්ම දූවිලි නිසා ඇතිවන පෙනහළු ආබාධවලට ද මුහුණ දීමට සිදුව ඇත. පතල් සේවකයින් විසින් ඔහුගේ මිතුරෙකුගේ නිවසක් සම්පූර්ණයෙන්ම කඩා බිඳ දමා ඇති අතර තවත් නිවාස හතක් ද විනාශ කර තිබේ.

SA ලිතියම් ආයතනයේ අධ්‍යක්ෂ ඉයන් හාබොට්ල් පවසන්නේ, ගොවීන් 150 දෙනෙකු කැමැත්තෙන්ම වෙනත් ස්ථානවලට යොමු කළ බවත්, පතල් ආශ්‍රිතව රැකියා 1000කට වඩා නිර්මාණය කර ඇති බවත්ය. එසේම පතල් වලින් පිටවන කිසිදු ජල බිඳක් ගංගාවලට එකතු නොවන බවද ඔහු කියා සිටී. එහෙත්, හෙක්ටයාර 6000ක් පුරා ව්‍යාප්ත වන මෙම කැණීම් නිසා ජලය හා පස දූෂණය වී කෘෂිකර්මාන්තයේ අනාගතය සම්පූර්ණයෙන්ම විනාශ වී යනු ඇතැයි ප්‍රදේශවාසීහු මෙන්ම 51 හැවිරිදි උක් වගා උපදේශකවරයෙකු වන ජෝ න්කාලා වැනි පිරිස් දැඩි කනස්සල්ලෙන් යුතුව පෙන්වා දෙති.