banners-in-hanwella-for-bus-driver-lalith

ඩුබායි රාජ්‍යයේදී අත්අඩංගුවට පත් සංවිධානාත්මක අපරාධකරුවෙකු මෙන්ම මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන ලලිත් කන්නංගර හෙවත් ‘බස් ලලිත්’ නමැත්තා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් කණ්ඩායමක් විසින් අද අලුයම කටුනායක ගුවන් තොටුපොළ ඔස්සේ මෙරටට රැගෙන විත් තිබේ. ගුවන් තොටුපොළේදී මූලික ප්‍රකාශ සටහන් කර ගැනීමෙන් අනතුරුව, දැඩි ආරක්ෂක සංවිධාන මධ්‍යයේ සැකකරු වැඩිදුර විමර්ශන සඳහා කොළඹ මධ්‍යම අපරාධ විමර්ශන කොට්ඨාසය වෙත භාර දී ඇත.




කළුතර දකුණ, දූව පන්සල පාරේ පදිංචි 36 හැවිරිදි වියේ පසුවන මොහු හංවැල්ල, අවිස්සාවේල්ල, කටුකුරුන්ද, පාදුක්ක, මීගොඩ සහ කල්තොට යන පොලිස් බලප්‍රදේශ තුළ සිදුවූ මනුෂ්‍ය ඝාතන, මත්ද්‍රව්‍ය ජාවාරම්, බරපතළ තුවාල සිදුකිරීම්, කප්පම් ගැනීම් සහ දේපළ ගිනි තැබීම් ඇතුළු අපරාධ රැසකට සම්බන්ධ බවට චෝදනා එල්ල වී තිබේ. මීට අමතරව සී-ෆෝ (C-4) වර්ගයේ ප්‍රබල පුපුරන ද්‍රව්‍ය තොගයක් ළඟ තබා ගැනීම පිළිබඳව ද මොහුට එරෙහිව පරීක්ෂණ ක්‍රියාත්මක වේ.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක, සහකාර පොලිස් අධිකාරී එෆ්. යූ. වුට්ලර් මහතා විශේෂ මාධ්‍ය සාකච්ඡාවක් පවත්වමින් සඳහන් කළේ 2025 ඔක්තෝබර් 25 වන දින පොලිස්පතිවරයා වෙත ලැබුණු විශේෂ තොරතුරකට අනුව මෙම අත්අඩංගුවට ගැනීම සිදුකළ බවයි. මේ වන විට මධ්‍යම අපරාධ කාර්යාංශයේ රඳවා ගැනීමේ නියෝග මත සැකකරුගෙන් ප්‍රශ්න කරන අතර, ඔහුගේ නීති විරෝධී වත්කම් සහ දේපළ සම්බන්ධයෙන් නීති විරෝධී වත්කම් විමර්ශන ඒකකය මගින් ද වෙනම පරීක්ෂණයක් ආරම්භ කර ඇත.




එමෙන්ම 2024 වසරේ සිට මේ දක්වා කාලය තුළ ජාත්‍යන්තර පොලිසියේ රතු නිවේදන නිකුත් කර තිබූ අපරාධකරුවන් 42 දෙදෙනෙකු මෙරටට ගෙන්වා ගැනීමට පොලිසිය සමත්ව ඇති අතර, රතු නිවේදන නිකුත් කළ තවත් 109 දෙනෙකු ඉදිරියේදී මෙරටට ගෙන්වා ගැනීමට නියමිත බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසීය. මීට අමතරව රතු නිවේදන නොමැතිව සිටි සැකකරුවන් 38 දෙනෙකු ද මෙරටට ගෙන්වාගෙන ඇති අතර ඉදිරි දිනවලදී ද තවත් කිහිපදෙනෙකු ගෙන්වා ගැනීමට කටයුතු යොදා තිබේ.

මේ අතර, ‘බස් ලලිත්’ නමැත්තා ඩුබායිහිදී අත්අඩංගුවට පත්වීමත් සමග හංවැල්ල සහ අවට ප්‍රදේශවල ජනතාව රතිඤ්ඤා දල්වමින් සිය සතුට පළ කර තිබූ අතර, ඔහු මෙරටට රැගෙන ඒම පිළිබඳව ආරක්ෂක අංශ, ජනාධිපතිවරයා සහ රජය වෙත ස්තුතිය පළ කරමින් හංවැල්ල ව්‍යාපාරික ප්‍රජාව සහ වෙළෙඳ සංගමය ප්‍රදේශයේ බැනර් ද ප්‍රදර්ශනය කර තිබේ.

news-2026-08-25-081133

news-2026-08-25-081133

news-2026-08-25-081133

news-2026-08-25-081133