
හොරණ අක්කර 35 ප්‍රදේශයේදී සිදුවූ ඇසිඩ් ප්‍රහාරයකින් බරපතල තුවාල ලැබූ 29 හැවිරිදි කාන්තාවක් හොරණ දිස්ත්‍රික් මහ රෝහලට ඇතුළත් කර ඇති බව හොරණ මූලස්ථාන පොලීසිය පවසයි. දෙපිරිසක් අතර ඇති වූ බහින්බස්වීමක් දුරදිග යාමෙන් හටගත් ගැටුමක ප්‍රතිඵලයක් ලෙස මෙම ඇසිඩ් ප්‍රහාරය එල්ල වී තිබේ.
කෙසේ වෙතත්, අදාළ ආරවුල හටගත් අවස්ථාවේදී මෙම කාන්තාව ඊට කිසිදු ලෙසකින් මැදිහත් වී නොසිටි බව පොලිස් පරීක්ෂණවලදී අනාවරණය වී ඇත.සිද්ධියට මුල් වී ඇත්තේ පුද්ගලයන් දෙපිරිසක් අතර ඇති වූ බහින්බස්වීමක් අතරතුර එක් අයෙකුට පහරදීමක් සිදුවීමයි. පසුව පහරකෑමට ලක්වූ පුද්ගලයා, තමන්ට පහර දුන් පුද්ගලයාගේ නිවසට ඇසිඩ් බෝතලයක් ද රැගෙන ගොස් තිබේ. එම අවස්ථාවේදී පහර දුන් තැනැත්තා නිවසේ සිට නොමැති අතර, ඒ හේතුවෙන් සැකකරු විසින් නිවසේ සිටි අදාළ තැනැත්තාගේ බිරිඳ වෙත මෙම ඇසිඩ් ප්‍රහාරය එල්ල කර ඇත.
මෙම සිදුවීමට සම්බන්ධ ඇසිඩ් ප්‍රහාරය එල්ල කළ පුද්ගලයා ඇතුළු සැකකරුවන් තිදෙනෙකු හොරණ මූලස්ථාන පොලීසිය මගින් අත්අඩංගුවට ගෙන තිබේ. මෙසේ අත්අඩංගුවට පත්ව ඇත්තේ හොරණ අක්කර 34 ප්‍රදේශයේ පදිංචි අවුරුදු 30, 28 සහ 27 යන වයස්වල පසුවන පුද්ගලයන් තිදෙනෙකි. අත්අඩංගුවට ගත් සැකකරුවන් හොරණ මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිත අතර හොරණ මූලස්ථාන පොලීසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ මෙහෙයවනු ලබයි.
