දිවයිනේ පොදු ප්‍රවාහන සේවාව නවීකරණය කිරීමේ අරමුණින් මෙරටට ආනයනය කරන ලද පහත් පතුල සහිත මෙට්‍රෝ (Metro) බස් රථ සේවාව භාවිත කරන මගීන් උදෙසා රුපියල් 799ක විශේෂ සති අන්ත සහන පැකේජයක් හඳුන්වා දීමට තීරණය කර ඇත. නවීන පහසුකම්වලින් යුත් මෙම ආනයනික බස් රථ 104 ලියාපදිංචි කිරීමේ කටයුතු ලබන සතියේදී ආරම්භ කෙරෙන අතර, මෙකී ලියාපදිංචි කිරීම් අවසන් වූ වහාම එනම් මෙම මස අවසානය වන විට සියලුම බස් රථ ධාවනයට එක් කිරීමට නියමිතය.
කොළඹ නගරය සහ තදාසන්න ප්‍රදේශ ඉලක්ක කරගනිමින් මෙම නව බස් රථ ධාවනයට එක්කරන බව ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ සභාපති සජීව කනකරත්න මහතා සඳහන් කළේය.
සති අන්තයේ ගමන් ගන්නා මගීන් වෙනුවෙන් ක්‍රියාත්මක වන රුපියල් 799 සහන පැකේජය පිළිබඳ තොරතුරු තහවුරු කරමින් මෙට්‍රෝ සමාගමේ සභාපති තිලක් තිලකරත්න මහතා සඳහන් කළේ සෙනසුරාදා හෝ ඉරිදා යන දින දෙකෙන් එකකදී ඕනෑම ධාවන මාර්ගයක කොපමණ වාර ගණනක් වුවද ගමන් කිරීමට මෙමගින් මගීන්ට අවස්ථාව හිමිවන බවයි.
මෙම විශේෂ පැකේජය සක්‍රිය කරගන්නා වැඩිහිටියන් සමඟ ගමන් කරන වයස අවුරුදු 12ට අඩු ළමයින්ගෙන් කිසිදු ප්‍රවේශ පත්‍ර ගාස්තුවක් අය නොකිරීම තවත් විශේෂත්වයකි. මෙරට ජනතාව මෙම නව මෙට්‍රෝ බස් සේවාව වෙත ආකර්ෂණය කරගැනීමේ පරමාර්ථයෙන් මෙම පියවර ගෙන ඇති අතර, අදාළ සහන පැකේජය 'LMT GO' ජංගම යෙදවුම (App) ඔස්සේ ලබාගැනීමට පහසුකම් සලසා ඇත.
