ජපානයේ පළමු අග්‍රාමාත්‍යවරිය වන 65 හැවිරිදි සනායේ ටකායිචි මහත්මිය සිය නිල නිවසේ ගෙවන හුදකලා ජීවිතය සහ සේවා රටාව පිළිබඳව සමාජ මාධ්‍ය සටහන් කිහිපයක් ඔස්සේ තොරතුරු හෙළිදරව් කර තිබේ. පාලක ලිබරල් ඩෙමොක්රටික් පක්ෂය නියෝජනය කරන ඇය, පසුගිය දෙසැම්බර් මාසයේදී ටෝකියෝ හි පිහිටි නිල නිවසට පදිංචියට පැමිණි අතර වර්තමානය වන විට ධුරයට පත්ව මාස 10 ක කාලයක් ගතවී ඇත.
සති අන්තයන්හි මෙන්ම රාත්‍රී කාලයේදීත් දීර්ඝ වේලාවක් වැඩ කිරීමටත්, ඉතා අඩු නින්දකින් පසුවීමටත් ඇය ප්රකටය.සිය පාලන කාලය තුළ ෂී ජින්පින් සහ ව්ලැදිමීර් පුටින් වැනි ලෝක නායකයන් හමුවේ නොසැලී සිටි ටකායිචි මහත්මිය, ඩොනල්ඩ් ට්‍රම්ප් සහ ජෝර්ජියා මෙලෝනි සමඟ සමීප සබඳතා පවත්වාගෙන යන්නීය. අමෙරිකානු ජනාධිපති ට්‍රම්ප් සිය සමීපතම මිතුරෙකු ලෙස හඳුන්වන ඇය, සාමාන්‍යයෙන් දිනකට ලබාගන්නේ පැය බිංදුවේ සිට තුන දක්වා නින්දක් පමණි. කෙසේ වෙතත්, පසුගිය ජූලි මාසයේදී එක්ස් (X) ගිණුමේ සටහනක් තබමින් ඇය සඳහන් කළේ දීර්ඝ කාලයකට පසුව ප්‍රථම වතාවට තමාට පැය පහක නින්දක් ලැබුණු බවයි.
තමා පාර්ලිමේන්තු වාර මඟහරිමින් නිල නිවසේ කාලය ගතකරන බවට පළවන වාර්තා හමුවේ, මහජනතාව නගන ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් ඇය සිය අත්දැකීම් විස්තර කර ඇත. නිල නිවසේ හොල්මන් සිටින බවට පවතින මත ප්‍රතික්ෂේප කළ අග්‍රාමාත්‍යවරිය, තමාට එහිදී කැරපොත්තෙකු හමුවූ පුවතක් ඉදිරිපත් කළාය. කෑම මේසය යට පිරිසිදු කර, ආහාර කොටස් පියන් සහිත බඳුන්වල දමමින් දැඩි පිරිසිදුකමක් පවත්වාගෙන ගියද, දිනක් ඇගේ පාද අසලින් කැරපොත්තෙකු ගමන් කර තිබේ.
කුඩා කල සිටම ඔසාමු තෙසුකාගේ "ෆයර්බර්ඩ්" (Firebird) නැමැති මැංගා චිත්‍රකතා පොත් පෙළ නිතර කියවීමට ඇය පුරුදුව සිටියාය. එම කතාවේ එන පුනරුත්පත්තිය සහ සංසාර චක්‍රය පිළිබඳ සංකල්පය නිසා සතුන් මැරීමට අකමැති වූ ඇය, මෙම කැරපොත්තා ද එම සංසාර චක්‍රයේ කොටසක් ලෙස සිතා ඌ ඉවත් වී යන තෙක් යම් කාලයක් ඉවසා සිටියාය.
නමුත් මෙම සිදුවීම දැනගත් ඇගේ ලේකම්වරුන් අපිරිසිදුකම ගැන කම්පනයට පත්ව, විශේෂ මෙහෙයුමක් හරහා කැරපොත්තා ඉවත් කිරීමට පියවර ගෙන ඇත. ඉන්පසුව කැරපොත්තන් පැමිණීම නතර වූ අතර, ඒ පිළිබඳව තමාට සහනයක් දැනුණද යම් තරමක හුදකලාවක් සහ කණගාටුවක් ද ඇති වූ බව අග්‍රාමාත්‍යවරිය සඳහන් කළාය.
අග්‍රාමාත්‍ය කාර්යාලයට වඩා නිල නිවසේ සිට රාජකාරි කිරීමට ඇය ප්‍රමුඛතාව දෙන්නේ ආරක්ෂක නිලධාරීන් සහ කාර්ය මණ්ඩලය සම්බන්ධ කරගැනීම අවම කිරීමෙන් ඔවුන්ගේ කාර්යභාරය ලිහිල් කිරීම සඳහාය. පෞද්ගලිකව හමුවිය යුතු අවස්ථාවලදී පවා අදාළ ලේකම්වරයා හෝ අත්‍යවශ්‍ය නිලධාරීන් පමණක් නිල නිවසට ගෙන්වා ගැනීමට ඇය කටයුතු කරයි.
නිකෙයි (Nikkei) පුවත්පතට අනුව ඇය පත්වීමෙන් පසු සති අන්ත සහ රජයේ නිවාඩු දිනවලින් අඩකට වඩා ගතකර ඇත්තේ නිල නිවසේය. බ්ලූම්බර්ග් (Bloomberg) වාර්තාවලට අනුව 2012 වසරෙන් පසු අඩුම අමාත්‍ය මණ්ඩල රැස්වීම් ගණනක් පවත්වා ඇත්තේ ද ඇයයි. මේ අතර 2025 පෙබරවාරි මාසයේදී ආඝාත තත්ත්වයකට ගොදුරු වූ ඇගේ සැමියා (හිටපු දේශපාලනඥයෙකි) නිවසේ පිසීම් කටයුතු සිදු කරයි.
පසුගිය පෙබරවාරි මාසයේ පැවැති හදිසි මහා මැතිවරණයෙන් විශිෂ්ට ජයක් ලැබුවද, පසුගිය මාසයේ පැවැති ජනමත විමසුමකදී ඇගේ ජනප්‍රියතාව සියයට 41 දක්වා සියයට 10 කින් පහත වැටී තිබේ. ජපන් රජ පවුලේ පිරිමි පාර්ශ්වයට පමණක් හිමිවන උරුමය පවත්වාගෙන යාමට ප්‍රමුඛතාව දීම සහ නැගී එන බඩුමිල පාලනය කිරීමේ ප්‍රතිපත්ති ප්‍රමාද කිරීම මෙම ජනප්‍රියතාව අඩුවීමට හේතු වී ඇත.
