negombo-is-separate-and-mahara-is-separate---minister-of-justice

මහර බන්ධනාගාරය තුළ හටගත් නොසන්සුන්කාරී තත්ත්වය පාලනය කර සාමකාමී මට්ටමකට පත් කිරීමට ආරක්ෂක අංශ සමත්ව ඇති බව අධිකරණ අමාත්‍ය නීතිඥ හර්ෂණ නානායක්කාර මහතා සඳහන් කරයි. මෙම සිදුවීම මීට පෙර මීගමුව බන්ධනාගාරයේ ඇති වූ තත්ත්වයට වඩා මුලුමනින්ම වෙනස් ස්වරූපයක් ගන්නා බව ද අමාත්‍යවරයා පෙන්වා දෙයි.




මීගමුව බන්ධනාගාරයේදී රැඳවියන් කණ්ඩායම් දෙකක් අතර ගැටුමක් හටගත්තද, මහර සිදුවීම බන්ධනාගාර පාලනාධිකාරිය අරමුණු කරගනිමින් එල්ල වූවක් බව නිරීක්ෂණය වී තිබේ. සිරගෙවල් තුළට මත්ද්‍රව්‍ය ඇතුළු වීම වැළැක්වීම සඳහා රජය ගෙන ඇති තදබල තීරණ හමුවේ ඇති වූ අකමැත්ත සහ තරහව මෙම නොසන්සුන්තාවට ප්‍රධාන හේතුව වන්නට ඇති බවට සැක කෙරේ. දිවයිනේ සෑම බන්ධනාගාරයකම මත්ද්‍රව්‍ය ජාවාරම් පාලනය කිරීමේ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක වන බැවින්, ඊට දක්වන විරෝධය මෙවැනි තත්ත්වයන්ට මග පාදන බවත්, මේ පිළිබඳ නිශ්චිත තොරතුරු මූලික පරීක්ෂණ වාර්තාව ලැබීමෙන් පසු තහවුරු වන බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් කියා සිටියේය.

මේ වන විට බන්ධනාගාර සංකීර්ණයේ ආරක්ෂාව උදෙසා පොලිසිය මෙන්ම පොලිස් විශේෂ කාර්ය බලකායද (STF) යොදවා ඇති අතර, හානියට පත් දේපළ යථා තත්ත්වයට පත් කිරීමේ කටයුතු ආරම්භ කර ඇත. තත්ත්වය පාලනය වීමත් සමඟ රැඳවියන් නැවත ඔවුන්ගේ මැදිරි වෙත යොමු කර ඇති අතර, ඔවුන්ට අවශ්‍ය ආහාර පාන පහසුකම් සපයමින් බන්ධනාගාරයේ දෛනික කටයුතු සාමාන්‍ය පරිදි පවත්වාගෙන යාමට පියවර ගෙන තිබේ.




මෙම සිද්ධියට අදාළව මූලික පරීක්ෂණ වාර්තාවක් කැඳවීමට කටයුතු කර ඇති අතර, එහිදී එක් රැඳවියෙකු ජීවිතක්ෂයට පත්වීම සම්බන්ධයෙන් අවශ්‍ය නීතිමය පියවර ගනිමින් පවතී. මෙම සිදුවීමට අදාළ සම්පූර්ණ වාර්තාව ලැබුණු පසු ඊට අදාළ වැඩිදුර තොරතුරු අනාවරණය කිරීමට නියමිතය.