
දිවයින පුරා ඩෙංගු රෝග ව්‍යාප්තිය ඉහළ යමින් පවතින අතර, මේ වසරේ ගතවූ කාල සීමාව තුළ සමස්ත ඩෙංගු ආසාදිතයන් සංඛ්‍යාව 92,011 දක්වා ඉහළ ගොස් ඇති බව ජාතික ඩෙංගු මර්දන ඒකකය පවසයි. මෙම රෝගී තත්ත්වය හේතුවෙන් සිදු වී ඇති මරණ සංඛ්‍යාව 68ක් දක්වා ඉහළ ගොස් තිබෙන අතර, වෛරසය වේගයෙන් පැතිර යාමේ අවදානම හේතුවෙන් දිවයින පුරා පිහිටි සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී බලප්‍රදේශ 96ක් තවදුරටත් අධි අවදානම් කලාප ලෙස සෞඛ්‍ය අංශ විසින් නම් කර ඇත.
වාර්තා වන ආසාදිතයන් අතරින් බහුතරය බස්නාහිර පළාතෙන් හඳුනාගෙන ඇති අතර එම සංඛ්‍යාව 48,725කි. එය මුළු රෝගීන් ප්‍රමාණයෙන් සියයට 52.96ක ප්‍රතිශතයකි. ඊට අමතරව දකුණු පළාතෙන් රෝගීන් 13,533ක්, මධ්‍යම පළාතෙන් 8,274ක් සහ සබරගමුව පළාතෙන් ආසාදිතයන් 7,558 දෙනෙකු වාර්තා වී තිබේ. දිස්ත්‍රික් පදනමින් වැඩිම ඩෙංගු රෝගීන් ප්‍රමාණයක් ගම්පහ දිස්ත්‍රික්කයෙන් වාර්තා වන අතර එම සංඛ්‍යාව 19,631කි. ඊට අමතරව කොළඹින් රෝගීන් 18,245ක්, මහනුවරින් 6,613ක්, මාතරින් 6,036ක්, කළුතරින් 5,951ක්, ගාල්ලෙන් 5,039ක් සහ රත්නපුර දිස්ත්‍රික්කයෙන් 4,935ක් ලෙස ආසාදිතයන් හඳුනාගෙන ඇත. කොළඹ මහ නගර සභා බලප්‍රදේශය තුළින් පමණක් ඩෙංගු රෝගීන් 3,700ක් වාර්තා වී තිබීම කැපී පෙනෙන කරුණකි.
මෙම වසරේ මාසිකව වැඩිම ඩෙංගු රෝගීන් සංඛ්‍යාවක් හඳුනාගෙන ඇත්තේ ජූලි මාසයේදී වන අතර එම සංඛ්‍යාව 29,968කි. ජූනි මාසයේදී ආසාදිතයන් 21,533ක් සහ මැයි මාසයේදී රෝගීන් 8,590ක් වාර්තා වී තිබුණි. අගෝස්තු මාසයේ මුල් දින 15 ඇතුළත පමණක් ඩෙංගු ආසාදිතයන් 6,671 දෙනෙකු වාර්තා වී ඇත.
පවතින තත්ත්වය හමුවේ ඩෙංගු මදුරුවන් බෝවන ස්ථාන විනාශ කරමින් සිය පරිසරය නිරන්තරයෙන් පිරිසිදුව තබා ගැනීමට පියවර ගන්නා ලෙස සෞඛ්‍ය බලධාරීන් ජනතාවගෙන් ඉල්ලා සිටී. එසේම උණ ඇතුළු යම් රෝග ලක්ෂණයක් පවතින්නේ නම් කිසිදු ප්‍රමාදයකින් තොරව සුදුසුකම් ලත් වෛද්‍යවරයකු වෙත යොමුවී ප්‍රතිකාර ලබාගන්නා ලෙසද උපදෙස් දෙනු ලැබේ.