පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා සම්බන්ධයෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහලේකම්, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සාගර කාරියවසම් මහතා සිදුකළ බව කියන ප්‍රකාශය පිළිබඳ විමර්ශන ආරම්භ කිරීමට මධ්‍යම අපරාධ විමර්ශන කොට්ඨාශයට කඩුවෙල මහෙස්ත්‍රාත් අරුණ ඉන්ද්‍රජිත් බුද්ධදාස මහතා අවසර ලබාදී තිබේ. ඊට අමතරව, අදාළ ප්‍රකාශය ඇතුළත් මාධ්‍ය හමුව වාර්තා කළ සියලුම මාධ්‍ය නාළිකාවලින් එම අවස්ථාවට අදාළ සංස්කරණය නොකළ වීඩියෝ දර්ශන මධ්‍යම අපරාධ විමර්ශන කොට්ඨාශය වෙත ලබා දෙන ලෙසද මහෙස්ත්‍රාත්වරයා ඊයේ (06) නියෝග කළේය.
මධ්‍යම අපරාධ විමර්ශන කොට්ඨාශයේ අධ්‍යක්ෂ, සහකාර පොලිස් අධිකාරි කමල් ආරියවංශ මහතා විසින් අධිකරණය හමුවේ කරන ලද ඉල්ලීමක් සහ සිද්ධියට අදාළව සිදුකරන ලද විමර්ශනවල ප්‍රගති වාර්තාවක් සලකා බැලීමෙන් අනතුරුව මහෙස්ත්‍රාත්වරයා විසින් මෙම නියෝග නිකුත් කරනු ලැබීය.
පසුගිය දිනෙක පැවැති මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සාගර කාරියවසම් මහතා, 'වත්මන් පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය ආණ්ඩුවට සේවය කිරීම නවතා රජයට සහ ජනතාවට සේවය කළ යුතුයි, මිනිස්සුන්ගෙන් ගුටි කෑම නිසා මහපාරේ මියගිය 37 වන පොලිස්පතිවරයා ලෙස ප්‍රියන්ත වීරසූරිය ඉතිහාසගත වනවාට මා අකැමැතියි' යනුවෙන් ප්‍රකාශ කර ඇති බව සහකාර පොලිස් අධිකාරිවරයා අධිකරණය හමුවේ පැහැදිලි කළේය.
හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සාගර කාරියවසම් මහතා විසින් මාධ්‍ය හමුවේදී කරන ලද මෙම ප්‍රකාශය තුළින් පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතාට තර්ජනයක් වී ඇති බව පෙන්වා දුන් සහකාර පොලිස් අධිකාරි කමල් ආරියවංශ මහතා, එම තර්ජනය කිරීම සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ කිරීමට තමන් වෙත අවසර ලබා දෙන ලෙස අධිකරණයෙන් ඉල්ලා සිටියේය.