sergeant-who-helped-wattala-birthday-party-killers-jump-suspended

වත්තල ප්‍රදේශයේ හෝටලයක පැවැති උපන්දින සාදයකදී සිදුවූ පුද්ගල ඝාතනයෙන් පසු පලායමින් සිටි සැකකරුවන්ට මාර්ග බාධකයෙන් ගමන් කිරීමට ඉඩ සැලසූ බව කියන පමුණුගම පොලිසියේ සැරයන්වරයෙකුගේ වැඩ තහනම් කර තිබේ. දෑලතුර පොලිස් මාර්ග බාධකයේ නිසි පරිදි රාජකාරී ඉටු නොකිරීමේ චෝදනාව මත අගෝස්තු 03 වැනිදා සිට ක්‍රියාත්මක වන පරිදි මෙලෙස මොහුගේ වැඩ තහනම් කර ඇත.




පසුගිය ජූලි මස 23 වැනිදා රාත්‍රී කාලයේදී වත්තල පිහිටි හෝටලයකදී පාතාල නායකයෙකුගේ තෙවසරක් වයසැති දියණියකගේ උපන්දින සාදයක් පැවැත්වී ඇත. එම සාදයට කඩා වැදුණු නාඳුනන වෙඩික්කරුවෙකු විසින් සිදුකළ වෙඩි තැබීමකින් එහි සිටි එක් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්විය.

ඝාතනය සිදුකළ වෙඩික්කරු කළු පැහැති මෝටර් රථයකින් පලා යන බවට තොරතුරු ලැබීමත් සමඟ ඒ පිළිබඳව විමසිලිමත් වන ලෙස දෑලතුර මාර්ග බාධකයේ සිටි නිලධාරීන්ට උසස් නිලධාරීන් විසින් උපදෙස් ලබා දී තිබිණි. කෙසේ වෙතත්, එම මාර්ග බාධකයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියා ලෙස කටයුතු කළ අදාළ සැරයන්වරයා අනෙක් නිලධාරීන් නිසි ලෙස මෙහෙයවීමෙන් තොරව, කැපවීමෙන් රාජකාරී නොකර සැකකරුවන් සහ මෝටර් රථය අත්අඩංගුවට ගැනීමට කටයුතු නොකර එම රථයට පලා යාමට ඉඩ දී ඇති බව පරීක්ෂණවලදී අනාවරණය වී ඇත.




මෙම සිදුවීම සම්බන්ධයෙන් සිදුකළ පරීක්ෂණවලින් පසුව මීගමුව සහකාර පොලිස් අධිකාරී (1) විසින් අදාළ පොලිස් සැරයන්වරයාගේ වැඩ තහනම් කිරීමට පියවර ගෙන තිබේ. බස්නාහිර පළාත් භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති සජීව මැදවත්ත මහතාගේ අධීක්ෂණයෙන් සහ බස්නාහිර උතුරු දිසා භාර නියෝජ්‍ය පොලිස්පති නීතිඥ කාලිංග ජයසිංහ මහතාගේ උපදෙස් මත, මීගමුව කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී බී. මල් පෙරේරා මහතාගේ මෙහෙයවීමෙන් සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මක වේ.