අයැදුම්පත්‍රයේ සිදු වූ දෝෂයක් හේතුවෙන් යොවුන් ලෝක ශූරතා දැල්පන්දු තරගාවලියට සුදුසුකම් ලබා සිටි ක්‍රීඩිකාවන් දොළොස් දෙනකුට සහ නිලධාරීන් දෙදෙනකුට එම තරගාවලියට සහභාගී වීමට නොහැකිව මෙරට රැඳී සිටීමට සිදු වූ බව ජාතික විගණන කාර්යාලයේ නවතම වාර්තාවක් අනාවරණය කරයි. මෙම තරගාවලිය ඉකුත් වසරේ සැප්තැම්බර් 19 වැනිදා සිට 28 වැනිදා දක්වා එංගලන්තයේ ජිබෝල්ටා හිදී පැවැත්විණි.
අදාළ තරගාවලිය සඳහා සහභාගී වන ක්‍රීඩිකාවන් සහ නිලධාරීන් වෙනුවෙන් ජාතික ක්‍රීඩා තේරීම් කමිටුවේ මෙන්ම අධ්‍යාපන අමාත්‍යාංශයේ ද නිසි අනුමැතිය ලබා නොගෙන අයැදුම්පත ඉදිරිපත් කිරීම මෙම තත්ත්වයට හේතු වී ඇත. මෙලෙස කණ්ඩායමට තරගාවලියට සහභාගී වීමට නොහැකි වූවත්, එම ක්‍රීඩිකාවන් සහ නිලධාරී මණ්ඩලයේ ගුවන් ප්‍රවේශ පත්‍ර, වීසා ගාස්තු, ආහාර මෙන්ම නේවාසික පහසුකම් වෙනුවෙන් ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුව විසින් රුපියල් දස ලක්ෂ පනස් තුන් දහස් අටසිය හැත්තෑ පහක මුදලක් අපතේ යවා ඇති බව එම වාර්තාවේ සඳහන් වේ.
මේ අතර, ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජෙනරල්වරයාගේ භාරයේ පවතින ක්‍රීඩා සංගම් මහ සම්මේලන දහයකට අදාළ 2024 සහ 2025 වසරවල මූල්‍ය ප්‍රකාශන විගණනයට ලබා දීමට පියවර ගෙන නොතිබූ බව ද විගණන වාර්තාව පෙන්වා දෙයි. තවද, 2025 වර්ෂය වන විටත් අදාළ දෙපාර්තමේන්තුව වෙත යොමු කෙරුණු විගණන විමසුම් දොළහකට පිළිතුරු ලබා දී නොතිබූ බව ද එහි දැක්වේ.
එමෙන්ම ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුව විසින් සැලසුම් කරන ලද පුහුණු අවස්ථාවලින් ලබා දී ඇත්තේ සියයට 50කටත් වඩා අඩු ප්‍රමාණයක් බව විගණන නිලධාරීන් නිරීක්ෂණය කර තිබේ. මෙම කරුණු සියල්ල ඇතුළත් කර ඇත්තේ ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුවේ 2025 වාර්ෂික වාර්තාවට අදාළව නිකුත් කෙරුණු විගණන වාර්තාවෙහිය.