සීගිරිය අභයභූමිය තුළ අනවසරයෙන් වගා ළිඳක් කැපීම සහ ගස් කපා දැමීම සම්බන්ධයෙන් වනජීවී නිලධාරීන් විසින් අත්අඩංගුවට ගන්නා ලද රංගන ශිල්පී දමිත් ෆොන්සේකාට එරෙහි නඩුව ලබන සැප්තැම්බර් 2 වනදා අධිකරණයේදී විභාගයට ගැනීමට නියමිතය. මහජනතාවගේ දැඩි අවධානයට ලක්ව ඇති මෙම සිදුවීම පිළිබඳ අදහස් දක්වමින්, තමන්ට එරෙහිව එල්ල වී ඇති චෝදනා අතිශයෝක්තියෙන් දක්වා ඇති බව ඔහු පවසයි.
1994 වසරේ සිට අක්කර කිහිපයකින් යුත් මෙම ඉඩමේ තමන් වගා කටයුතු සිදුකරන බවත්, එහිදී ගොවිතැන් සඳහා සුළු වෙනස්කම් කිහිපයක් පමණක් සිදුකළ බවත් හෙතෙම පැහැදිලි කළේය. විශාල ළිඳක් තැනූ බවට කෙරෙන චෝදනා ප්‍රතික්ෂේප කරන ඔහු, වගාවන් සඳහා ජලය ලබා ගැනීමට කුඩා ළිඳක් පමණක් හෑරූ බවත්, සතුන් ඊට වැටීම වැළැක්වීම පිණිස කොන්ක්‍රීට් පඩියක් යෙදීමට සැලසුම් කළ බවත් 'මව්බිම' පුවත්පතට ප්‍රකාශ කර ඇත.
එමෙන්ම ගස් කපා දැමූ බවට නැගෙන චෝදනා ද ප්‍රතික්ෂේප කරන දමිත් ෆොන්සේකා කියා සිටින්නේ ගස්වල අතු කිහිපයක් පමණක් කැපූ බවයි. තමන්ව මාංචු දමා රැගෙන නොගිය බව සඳහන් කළ ඔහු, මෙය තමන් මුහුණ දුන් මෙවැනි පළමු ආකාරයේ ආරවුල බව ද වැඩිදුරටත් පවසා තිබේ.
“ ඔය ඉඩම මගේ. 1994 ඉදළම මම ඒ් ඉඩමේ වගා කරනවා. ඒ්ක අක්කර ගණනක ඉඩමක්. ඔය කියන විදියට මම ලොකු වගා ළිදක් කපා නැහැ. පොඩි ළිදක් කැපුවේ වගාවට අවශ්‍ය වතුර ගන්න. නිවුස්වල යන විදියට ලොකු වගා ළිදක් නෙමෙයි. අනික ඔය පොඩි ළිද හදලා සත්තු නොවැටෙන විදියට කොන්ක්‍රීට් පියනක් දාන්නත් සැලසුම් කළා.
අනික ඔය කියන විදියට ගස් කපලා නැහැ. අතු කීපයක් විතරයි කැපුවේ. ඊළගට මාව මාංචු දාලා අරගෙන ගියෙත් නැහැ. මෙහෙම ප්‍රශ්නයක් ආවේ පළමු වතාවට. ඒ් නිළධාරී මහත්තුරුන්ට මම ඒ්ක පහදලා දුන්නා. මම දැනුත් මේ ඉන්නේ ඒ් ඉඩමේමයි. ඉතින් සැප්තැම්බර් 02 වැනිදා මේ ප්‍රශ්නය උසාවිය හමුවේ විභාග වෙනවා.”
