නේපාල සහ ටිබෙට් දේශසීමා ආශ්‍රිත නිම්න ප්‍රදේශ මහත් විනාශයකට ඇද දමමින් 2026 අගෝස්තු 26 වනදා හදිසියේ ඇති වූ මඩ සහ ජල කඳ හමුවේ නුවාකොට් දිස්ත්‍රික්කයේ පිහිටි දෙමහල් නිවසක් ආශ්චර්යමත් ලෙස නොසැලී පැවතීමේ පුවත ලොව පුරා දැඩි අවධානයට ලක්ව තිබේ. අවට පිහිටි සියලු ගොඩනැගිලි චණ්ඩ ජල පහරට හසු වී ගසාගෙන යද්දී, ලා කොළ සහ සුදු පැහැයෙන් යුත් මෙම නිවසේ දෙවන මහලේ බැල්කනියේ රැඳී සිටි පවුල ජීවිත ගැලවුම්කරුවන් පැමිණෙන තෙක් නොනැසී පැවතීමට සමත් විය.
එම අවස්ථාව දැක්වෙන වීඩියෝ දර්ශන සමාජ මාධ්‍ය ඔස්සේ සීඝ්‍රයෙන් ප්‍රචාරය වූ අතර, පසුව සිදු කළ ගලවා ගැනීමේ මෙහෙයුම්වලදී එහි සිටි පිරිස නිරුපද්‍රිතව බේරා ගැනීමට හැකි වී ඇත.අවට සියලු ගොඩනැගිලි සුන්බුන් බවට පත්වෙද්දී මෙම කොළ පැහැති නිවස පමණක් ආරක්ෂිතව පැවතීම සම්බන්ධයෙන් ඉංජිනේරු ක්ෂේත්‍රයේ සහ සමාජ මාධ්‍ය තුළ විවිධ මත පළවෙමින් පවතී. එහි ශක්තිමත් කොන්ක්‍රීට් කණු සහ පදනම, නිවස පිහිටි ස්ථානයේ උස ප්‍රමාණය මෙන්ම වෙනත් ගොඩනැගිලි මගින් ජල පහරේ සැර අඩු වීම වැනි කරුණු ඊට බලපාන්නට ඇති බව විශ්වාස කෙරේ. කෙසේ වෙතත්, එවැනි චණ්ඩ ජල පහරකට ඔරොත්තු දෙමින් ගොඩනැගිල්ලක් ඉතිරි වීම අතිශය දුර්ලභ වාසනාවන්ත සිදුවීමක් ලෙස බොහෝ දෙනා හඳුන්වති.
මෙම හදිසි ජලගැලීම හේතුවෙන් නෙපාලයේ රසුවා සහ නුවාකොට් යන දිස්ත්‍රික්කවල පිහිටි ගම්මාන රැසක් මඩ තට්ටුවලට යටවූ අතර ජලවිදුලි ව්‍යාපෘති, පාලම් සහ මාර්ග සම්පූර්ණයෙන්ම විනාශ වී ගියේය. අගෝස්තු 29 වනදා වන විට නිකුත් වූ නිල වාර්තාවලට අනුව මියගිය සංඛ්‍යාව 600 ඉක්මවා ඇති අතර, සංචාරකයින් සහ වන්දනාකරුවන් ද ඇතුළුව 1,900කට වැඩි පිරිසක් අතුරුදහන් වී සිටිති. 2015 වසරේ සිදුවූ භූමිකම්පාවෙන් පසුව නෙපාලය මුහුණ දුන් බිහිසුණුම ස්වාභාවික ව්‍යසනය ලෙස මෙය සැලකෙන අතර ටිබෙට් පාර්ශවයට ද දැඩි හානි සිදු වී තිබේ.
මෙම නිවසේ පවුලට අමතරව තවත් ජීවිත ගැලවීමේ පුවත් කිහිපයක්ම නුවාකොට් ප්‍රදේශයෙන් වාර්තා විය. සිය මුළු පවුලම ජලයට බිලිවෙද්දී තම කුඩා පුතුගේ අත අල්ලාගෙන වහලයක් මත රැඳී සිටි කල්පනා මල්ලා නැමැති කාන්තාව, දිවි බේරාගැනීමට අඹ ගසක එල්ලුණු 24 හැවිරිදි බිබෙක් කුමාල් සහ පාසලෙන් පලාගොස් ගසකට නැගී දිවි බේරාගත් 8 හැවිරිදි සොයාල් ගාලේ කුඩා දරුවා ඒ අතර වෙති. එසේම, ජලයට යටවූ මහලු නිවාසයකින් වයස අවුරුදු 90කට වැඩි මහලු කාන්තාවක් පමණක් නිරුපද්‍රිතව මුදාගැනීමට ද ගලවාගැනීමේ කණ්ඩායම් සමත් වූහ.
