29-arrested-for-stealing-money-after-breaking-a-safe-that-floated-in-the-nepal-flood

නේපාලයේ රාසුවා ප්‍රදේශයේ භෝටේකොෂි සහ ත්‍රිශූලි ගංගාවල ඇති වූ දැඩි ගංවතුර තත්ත්වය හේතුවෙන් ගසාගෙන ආ බැංකු සේප්පුවක් කඩා එහි තිබූ නේපාල රුපියල් ලක්ෂ 92 කට (ශ්‍රී ලංකා රුපියල් මිලියන 20) අධික මුදලක් සොරාගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් පුද්ගලයින් 29 දෙනෙකු ධාඩිං දිස්ත්‍රික් පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන තිබෙන බව නේපාල මාධ්‍ය වාර්තා කරයි. ගංවතුරට හසු වී පැමිණි මෙම සේප්පුව නීති විරෝධී ලෙස කඩා දමා එහි තිබූ මුදල් තම භාරයට ගත් බවට මොවුන්ට එරෙහිව චෝදනා එල්ල වී ඇත.




ධාඩිං දිස්ත්‍රික්කයේ ගල්ඡී ග්‍රාමීය නගර සභාවට අයත් බෙල්ඛු ඛෝලා ප්‍රදේශයේ ත්‍රිශූලි ගං ඉවුරේ රැඳී තිබූ මෙම සේප්පුව ප්‍රදේශවාසීන් ඇතුළු පිරිසකට හමු වී තිබේ. අනතුරුව එම ස්ථානයේදීම බලහත්කාරයෙන් සේප්පුව කඩා දමා එහි තිබූ මුදල් බෙදාගෙන ඇති අතර, ලත් තොරතුරකට අනුව වහා ක්‍රියාත්මක වූ ආරක්ෂක අංශ සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට පියවර ගෙන ඇත. මෙලෙස අත්අඩංගුවට ගත් පිරිස සතුව තිබී නේපාල රුපියල් 92,68,505 ක මුදලක් සොයා ගැනීමට පොලිසිය සමත් විය.

ධාඩිං දිස්ත්‍රික් පොලිස් කාර්යාලයේ ප්‍රකාශක නියෝජ්‍ය පොලිස් සුපරින්ටෙන්ඩන්ට් ප්‍රකාශ් දහාල් මහතා සඳහන් කළේ, අත්අඩංගුවට ගත් සැකකරුවන් අතර ගල්ඡී, සිද්ධලේක්, චිට්වාන් සහ පර්සා යන ප්‍රදේශවල පදිංචි වයස අවුරුදු 19 ත් 49 ත් අතර පසුවන පිරිසක් සිටින බවයි. පවන් පවුඩෙල්, වීර් බහදූර් රානා, බිනෝද් ගිරි සහ නවරාජ් භෙටුවාල් ඇතුළු 29 දෙනෙකුගෙන් යුත් මෙම පිරිස සම්බන්ධයෙන් මේ වන විට වැඩිදුර විමර්ශන ක්‍රියාත්මක වේ.




අදාළ සේප්පුවේ තැන්පත් කර තිබූ සමස්ත මුදල් ප්‍රමාණය කොපමණද යන්න මෙතෙක් නිල වශයෙන් තහවුරු වී නොමැති අතර, අත්අඩංගුවට ගත් මුදල්වල නීත්‍යානුකූල මූලාශ්‍රය පිළිබඳවද පරීක්ෂණ පවත්වයි. තවද මෙම සිද්ධියට සම්බන්ධ වෙනත් පුද්ගලයින් සිටීද යන්න සොයා පොලිසිය වැඩිදුර මෙහෙයුම් ක්‍රියාත්මක කරමින් සිටී.