අන්තරායකර මත්ද්‍රව්‍ය ජාවාරම්වලට සහ සමාජ අසාධාරණයන්ට එරෙහිව සමාජ මාධ්‍ය ඔස්සේ නිරන්තරයෙන් හඬ නැඟූ සුප්‍රකට මලයාලම් වීඩියෝ බ්ලොගර්වරයකු වන අබ්දුල් හකීම් නමැත්තා සජීවී අන්තර්ජාල විකාශනයක් අතරතුර අත්වැරදීමකින් මත්ද්‍රව්‍ය භාවිත කරන අයුරු ප්‍රදර්ශනය වීම හේතුවෙන් එක්සත් අරාබි එමීර් රාජ්‍යයේදී අත්අඩංගුවට ගෙන තිබේ. සමාජ මාධ්‍ය තුළ ‘එන්ටේ කැසට්’ (Ente Cassette) යන නාමයෙන් පෙනී සිටින මොහු සාජා පොලිසිය විසින් මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ.
'කික්' (Kick) නැමැති සමාජ මාධ්‍ය වේදිකාව ඔස්සේ සජීවීව සම්බන්ධ වී සිටියදී, ඔහුගේ ලැප්ටොප් පරිගණකයේ අත්වැරදීමකින් සිදුවූ ස්පර්ශයක් හේතුවෙන් මොහු මත්ද්‍රව්‍ය භාවිත කරන දර්ශන සජීවීව ප්‍රේක්ෂකයන් වෙත විකාශනය වී ඇත. මෙම දර්ශන ක්ෂණිකව සමාජ මාධ්‍ය පුරා දැඩි ලෙස ප්‍රචාරය වීමත් සමඟ ඔහු එක්සත් අරාබි එමීර් රාජ්‍යයෙන් පළා යාමට උත්සාහ කර ඇති අතර, එහිදී ක්‍රියාත්මක වූ සාජා පොලිසිය ඔහුව ලුහුබැඳ ගොස් වහාම අත්අඩංගුවට ගැනීමට පියවර ගෙන තිබුණද සාජා පොලිසිය මෙතෙක් ඒ පිළිබඳ නිල වශයෙන් තහවුරු කර නොමැත.ඉන්දියාවේ බැංගලෝර් නගරය කේන්ද්‍ර කරගනිමින් මලයාලම් ජාතිකයන් උගුලට හසුකර ගන්නා මත්ද්‍රව්‍ය මාෆියාවට එරෙහිව වීඩියෝ නිර්මාණය කරමින් හකීම් සමාජ මාධ්‍ය තුළ විශාල ප්‍රසිද්ධියක් ලබා සිටි අයෙකි. මත්ද්‍රව්‍යවලට සහ කාන්තාවන්ට සිදුවන හිංසනයන්ට එරෙහිව පෙනී සිටින මානව හිමිකම් ක්‍රියාකාරිකයෙකු ලෙස ව්‍යාජ මුහුණුවරකින් පෙනී සිටි මෙම බ්ලොගර්වරයා, සැබවින්ම මත්ද්‍රව්‍ය ජාලයන් සමඟ සමීප සබඳතා පවත්වන බවට මීට පෙරද විවිධ චෝදනා එල්ල වී තිබුණි. තමන්ගේම සජීවී විකාශනයක් මඟින් ලෝකයම ඉදිරියේ ඔහුගේ සැබෑ ස්වරූපය මෙලෙස හෙළිදරව් වී ඇති අතර, මොහු සිය සමාජ මාධ්‍ය බලය අනිසි ලෙස භාවිතා කරමින් ප්‍රමුඛ පෙළේ සිනමා නළුවන් සහ ප්‍රසිද්ධ පුද්ගලයන් බ්ලැක්මේල් කර මුදල් කප්පම් ගෙන ඇති බවටද චෝදනා එල්ල වේ. කිසිදු නිසි සාක්ෂියක් නොමැතිව සජීවී වීඩියෝ හරහා නිර්දෝෂී පුද්ගලයන්ගේ චරිත ඝාතනය කිරීම මොහුගේ සුපුරුදු උපක්‍රමයක් වී තිබූ බවද පැවසේ.
අත්අඩංගුවට ගත් අබ්දුල් හකීම් නමැත්තා සිය මව්බිම වන ඉන්දියාවේදීද අපරාධ නඩු රැසකට සම්බන්ධ වී සිටින අයෙකු වන අතර, පුද්ගලයෙකුගේ බෙල්ලට පිහියක් තබා තර්ජනය කර ඔහුගේ බිරිඳ සමඟ සෙල්ෆි ඡායාරූපයක් ගැනීමට උත්සාහ කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන්ද ඔහුට එරෙහිව නඩු පවරා තිබේ. එම චෝදනාව මත ඔහුව අත්අඩංගුවට ගැනීමට ගිය අවස්ථාවේදී පොලිස් ජීප් රථයකට පහරදී හානි කිරීම සම්බන්ධයෙන්ද ඔහුට එරෙහිව තවත් නඩුවක් ලියාපදිංචි කර ඇත. මීට අමතරව, සමාජ මාධ්‍ය ඔස්සේ ලිංගික අපහාසාත්මක වැකි පළ කරමින් තමන්ව අපකීර්තියට පත් කළ බවට එර්නකූලම් ප්‍රදේශයේ පදිංචි කාන්තාවක් විසින්ද මොහුට එරෙහිව පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබේ. කර්නාටක ඇතුළු විවිධ ප්‍රාන්තවල සයිබර් පොලිස් ස්ථානවලද මොහුට එරෙහිව නඩු පවතින අතර, එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ පවතින දැඩි මත්ද්‍රව්‍ය විරෝධී නීති මාලාව යටතේ මොහුට ඉදිරියේදී ඉතා දැඩි නීතිමය ක්‍රියාමාර්ගවලට මුහුණ දීමට සිදුවනු ඇතැයි වාර්තා වේ.