තංගල්ල - මාතර ප්‍රධාන මාර්ගයේ වැල්ලමඩම ප්‍රදේශයේදී ඊයේ (19) පස්වරුවේ සිදු වූ මාරක රිය අනතුරකින් තවත් පුද්ගලයෙකු මියයාමත් සමඟ එම අනතුරින් ජීවිතක්ෂයට පත් සංඛ්‍යාව දෙදෙනෙකු දක්වා ඉහළ ගොස් තිබේ. මෙම අවාසනාවන්ත සිදුවීම පස්වරු 3.50 ට පමණ සිදුව ඇත්තේ මාතර දෙස සිට තංගල්ල දෙසට ධාවනය වූ ඩිෆෙන්ඩර් ජීප් රථයක්, තංගල්ල දෙස සිට මාතර දෙසට සිමෙන්ති පටවාගෙන පැමිණි ලොරි රථයක මුහුණට මුහුණ ගැටීමෙනි.
අනතුර සිදු වන අවස්ථාවේදී ඩිෆෙන්ඩර් රථය තුළ පුද්ගලයින් පස්දෙනෙකු ගමන් කර ඇති අතර, ලොරි රථයේ රියදුරු සහ සහායකයා ද ඇතුළුව දෙදෙනෙකු සිට ඇත. සිදුවූ දැඩි ගැටීමෙන් රථ දෙකෙහිම ගමන් කළ පුද්ගලයින් හත්දෙනාම තුවාල ලබා රෝහල් ගත කිරීමට පියවර ගත් අතර, ඒ අතුරින් දෙදෙනෙකු මේ වන විට මියගොස් තිබේ.
මෙසේ අවාසනාවන්ත ලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ ඩිෆෙන්ඩර් රථය පැදවූ මාතර, වැවහමන්දුව ප්‍රදේශයේ පදිංචිව සිටි 37 හැවිරිදි වෙදමුල්ල කංකානම්ගේ දිනේෂ් උදයංග නමැති අය සහ එම රථයේම ගමන් කළ මාතර, හිත්තැටිය මැද ප්‍රදේශයේ පදිංචි 36 හැවිරිදි එස්.එම්.වී. සුභාෂ් නැමැති අයයි.
සිද්ධියෙන් තුවාල ලැබූවන් අතුරින් තවත් දෙදෙනෙකුගේ තත්ත්වය බරපතළ මට්ටමක පවතින බව රෝහල් ආරංචි මාර්ග තහවුරු කරයි. පොලිසිය සිදු කළ මූලික විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ අනතුරට ලක්වූ ඩිෆෙන්ඩර් රථය මෙම තරුණයින් පිරිස විසින් එක් දිනක් සඳහා කුලී පදනම මත ලබාගත් එකක් බවයි.
අනතුරින් ඩිෆෙන්ඩර් රථයට මෙන්ම ලොරි රථයට ද දැඩි ලෙස හානි සිදුව ඇති අතර, සිද්ධිය පිළිබඳ වැඩිදුර පරීක්ෂණ මාතර පොලිස් ස්ථානයේ නිලධාරීන් විසින් පවත්වනු ලබයි.