twenty20-world-cup-womens-cricket-championship-to-australia-who-defeated-england

2026 කාන්තා විස්සයි20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශූරතාව දිනා ගැනීමට ඕස්ට්‍රේලියානු කාන්තා ක්‍රිකට් කණ්ඩායම සමත් විය. අවසන් මහා තරගයේදී එංගලන්ත කණ්ඩායම පරාජය කරමින් ඕස්ට්‍රේලියාව මෙම ජයග්‍රහණය වාර්තා කළ අතර, ඔවුන් විස්සයි20 ලෝක කුසලාන ඉතිහාසයේ ශූරතාව දිනාගත් 7වැනි අවස්ථාව මෙයයි.

මෙම ජයග්‍රහණයත් සමඟ කාන්තා ක්‍රිකට් ඉතිහාසයේ ඕස්ට්‍රේලියාව දිනාගත් සමස්ත ලෝක ශූරතා සංඛ්‍යාව 14ක් දක්වා ඉහළ ගිය අතර, මීට එක්දින ලෝක කුසලාන ශූරතා 7ක් ද ඇතුළත් වේ. බෙත් මූනි දියත් කළ විශිෂ්ට අර්ධ ශතක ඉනිම ඕස්ට්‍රේලියානු කණ්ඩායමේ මෙම ජයග්‍රහණය සඳහා ප්‍රබල අඩිතාලමක් දැමීය.




කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහරදුන් එංගලන්ත කාන්තා කණ්ඩායම නියමිත පන්දුවාර සංඛ්‍යාව අවසානයේ ලකුණු 150ක් රැස් කිරීමට සමත් විය. එංගලන්තය වෙනුවෙන් නායිකා නැට් සයිවර්-බ්‍රන්ට් නොදැවී ලකුණු 58ක් රැස් කළ අතර, ඇයගේ මෙම ඉනිම සඳහා පන්දු 53ක් වැය වූ අතර හතරේ පහර 5ක් ඇතුළත් විය. කෙසේ වෙතත්, ප්‍රබල ඕස්ට්‍රේලියානු පිතිකරණ බලඇණිය හමුවේ මෙම ලකුණු සංඛ්‍යාව ප්‍රමාණවත් නොවූ අතර ඕස්ට්‍රේලියානු ක්‍රීඩිකාවන් පන්දුවාර 17.1ක් තුළ කඩුලු 3ක් පමණක් දැවී ලකුණු 151ක ජයග්‍රාහී ඉලක්කය සපුරා ගනිමින් තරගය කඩුලු 7කින් ජයග්‍රහණය කළේය.

තමන්ගේම මව්බිමේදී අවසන් මහා තරගයට ක්‍රීඩා කළ එංගලන්ත කණ්ඩායමට තරගයේ ආරම්භය සාර්ථක කර ගැනීමට නොහැකි විය. ආරම්භක පිතිකාරිනී ඇමී ජෝන්ස් ලකුණු 7කට දැවී යාමත් සමඟ ඔවුන්ගේ පළමු කඩුල්ල බිඳ වැටුණි. ඉන් අනතුරුව නායිකා නැට් සයිවර්-බ්‍රන්ට් සහ ඩැනී වියට්-හොජ් එක්ව ඉනිම ගොඩනැගීමට උත්සාහ කළද, පවර්ප්ලේ පන්දුවාර තුළ ඔවුන්ගේ ලකුණු රැස් කිරීමේ වේගය මන්දගාමී විය. වියට්-හොජ් ලකුණු 8කට දැවී ගිය නමුත්, ඇය මෙම තරගාවලිය පුරා ලකුණු 300 සීමාව පසු කිරීමට සමත් වූවාය. ඒ අනුව ඇය කාන්තා විස්සයි20 ලෝක කුසලාන තරගාවලියක තනි අදියරක් තුළ වැඩිම ලකුණු ලාභිනිය බවට පත්වෙමින් නව වාර්තාවක් පිහිටුවීය.




එංගලන්ත කණ්ඩායමේ එක් අන්තයකින් කඩුලු බිඳ වැටුණද, නායිකා බ්‍රන්ට් ඉතා ඉවසිලිවන්තව ක්‍රීඩා කරමින් පන්දු 46කදී සිය අර්ධ ශතකය සම්පූර්ණ කළාය. ඇයට අනගි සහයක් ලබා දුන් ෆ්‍රේයා කෙම්ප් අවසාන පන්දුවාරවලදී වේගවත් ඉනිමක් දියත් කරමින් පන්දු 28කදී නොදැවී ලකුණු 44ක් රැස් කළාය. කෙම්ප්ගේ ඉනිමට හතරේ පහර 4ක් සහ එක් හයේ පහරක් ඇතුළත් වූ අතර, ඇයගේ සහ බ්‍රන්ට්ගේ දක්ෂතාව හේතුවෙන් එංගලන්තයට ගෞරවනීය ලකුණු පුවරුවක් නිර්මාණය කර ගැනීමට හැකි විය. පන්දු යැවීමේදී ඕස්ට්‍රේලියාව වෙනුවෙන් ලුසි හැමිල්ටන්, කිම් ගාර්ත්, සොෆී මොලිනියු සහ ඈනබෙල් සදර්ලන්ඩ් අතරේ එක් කඩුල්ල බැගින් බෙදී ගියේය.

ලකුණු 151ක ජයග්‍රාහී ඉලක්කයක් හඹා යාම සඳහා පිටියට පිවිසි ඕස්ට්‍රේලියානු කණ්ඩායමටද ආරම්භයේදීම සුළු පසුබෑමකට ලක් වීමට සිදු විය. ජෝර්ජියා වෝල් ලකුණු 9ක් ලබා සිටියදී ලෝරන් බෙල්ගේ පන්දුවක් හමුවේ දැවී ගියාය. එහෙත් ඉන්පසු පිටියේ එක් වූ බෙත් මූනි සහ ෆීබි ලිච්ෆීල්ඩ් සාර්ථක සබඳතාවක් ගොඩනගමින් තරගයේ පාලනය සියතට ගත්හ. බෙත් මූනි පන්දු 38කදී සිය අර්ධ ශතකය වාර්තා කරමින් විශිෂ්ට ඉනිමක් ක්‍රීඩා කළ අතර, අනෙක් අන්තයෙන් ඇයට සහය වූ ලිච්ෆීල්ඩ් පන්දු 35කින් ලකුණු 48ක් ලබා සිටියදී චාලි ඩීන්ගේ පන්දුවක් හමුවේ අවාසනාවන්ත ලෙස දැවී ගියාය.



බෙත් මූනි පන්දු 49කදී හතරේ පහර 10ක් සමඟින් ලකුණු 64ක් රැස් කර දැවී යන විටත් ඕස්ට්‍රේලියානු කණ්ඩායම ජයග්‍රහණය අභියසටම රැගෙන විත් තිබුණි. ඒ අනුව කිසිදු අපහසුවකින් තොරව ජයග්‍රාහී ඉලක්කය පසුකර ගිය ඕස්ට්‍රේලියානු කාන්තා කණ්ඩායම, ලෝක ක්‍රිකට් පිටියේ සිය ආධිපත්‍යය යළිත් වරක් තහවුරු කරමින් හත්වැනි වරටත් විස්සයි20 ලෝක කුසලාන කිරුළ තමන් සතු කර ගැනීමට සමත් විය.