ඕස්ට්‍රේලියාවේ රැකියා ලබාදෙන බව පවසා රුපියල් කෝටියකට අධික මූල්‍ය වංචාවක් සිදුකළ මෙරට ප්‍රසිද්ධ පෞද්ගලික රූපවාහිනී නාලිකාවක අලෙවි විධායකවරයෙකු ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ විමර්ශන අංශයේ පොලිස් ඒකකය මඟින් අත්අඩංගුවට ගෙන තිබේ. පසුගිය 2026 ජූලි 15 වනදා අවිස්සාවේල්ල ප්‍රදේශයේදී මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර ඇත.
සැකකරු දිවයිනේ විවිධ ප්‍රදේශවල පදිංචි පුද්ගලයන් මුළා කරමින් ඕස්ට්‍රේලියානු රැකියා සිහිනය පෙන්වා එක් අයෙකුගෙන් රුපියල් ලක්ෂ 25ත් 35ත් අතර මුදලක් වංචනික ලෙස ලබාගෙන ඇති බව විමර්ශනවලදී හෙළි විය. ඒ අනුව ඔහු විසින් විවිධ පුද්ගලයන්ගෙන් වංචා කර ඇති සමස්ත මුදල රුපියල් කෝටිය ඉක්මවන බව සඳහන් වේ.
මෙම මූල්‍ය ජාවාරමට සම්බන්ධ පුද්ගලයාට එරෙහිව විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ විශේෂ විමර්ශන අංශය වෙත පැමිණිලි 8ක් ලැබී තිබුණි. සැකකරු අත්අඩංගුවට ගැනීමට නිලධාරීන් මීට පෙර අවස්ථා කිහිපයකදීම උත්සාහ කළද, ඔහු විමර්ශන නිලධාරීන් මගහරිමින් සූක්ෂ්ම ලෙස සැඟව සිට ඇත. පසුව විමර්ශන නිලධාරීන් විසින් යොදවන ලද උපාය දූතයෙකු මාර්ගයෙන්, විදේශ රැකියාවක් අවශ්‍ය බව පවසා සැකකරු සම්බන්ධ කරගැනීමට පියවර ගෙන තිබේ. ඒ අනුව අවිස්සාවේල්ල නගරයේ රැඳී සිටි සැකකරුව මහත් පරිශ්‍රමයක් දරා කොටුකර ගැනීමට නිලධාරීහු සමත් වූහ.
විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ වලංගු බලපත්‍රයක් නොමැතිව විදේශ රැකියා සඳහා බඳවාගැනීම් සිදුකිරීම සහ මූල්‍ය වංචා සිදුකිරීම යන චෝදනා යටතේ සැකකරුට එරෙහිව අවිස්සාවේල්ල මහේස්ත්‍රාත් අධිකරණයේ නඩු 8ක් පවරා ඇත. අත්අඩංගුවට ගත් මෙම අලෙවි විධායකවරයා ජූලි 16 වනදා අවිස්සාවේල්ල මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව, එළඹෙන ජූලි මස 30 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට මහේස්ත්‍රාත්වරයා නියෝග කර තිබේ.