homagama-bike-gang-arrested

මහජනතාවට දැඩි පීඩාවක් වන අයුරින් අධික වේගයෙන් සහ අධික ශබ්දයක් නිකුත් කරමින් යතුරුපැදි ධාවනය කළ පුද්ගලයන් දහසය දෙනෙකු හෝමාගම මූලස්ථාන පොලිසිය විසින් ඊයේ (17) අත්අඩංගුවට ගෙන තිබේ. හෝමාගම නගරය සහ ඒ අවට ප්‍රදේශ කිහිපයක සිදුකරන ලද විශේෂ වැටලීම් මාලාවකදී මෙම පිරිස පොලිස් භාරයට පත්ව ඇත්තේ, මහජනයාට පීඩාකාරී ලෙස හැසිරෙන පිරිසක් පිළිබඳව පොලිසියට ලද තොරතුරක් මත පදනම්වය.




එහිදී ඔවුන් සන්තකයේ තිබූ, මුල් ස්වරූපය සම්පූර්ණයෙන්ම වෙනස් කර නීතිවිරෝධී ලෙස අමතර කොටස් සවිකර තිබූ යතුරුපැදි දහසයක් ද පොලිසිය විසින් තමන් භාරයට ගෙන ඇත. විශේෂයෙන්ම සයිලන්සර්වල ශබ්දය වෙනස් කරන ලද, පැති කණ්ණාඩි සහ මඩ කවර ඉවත් කළ මෙන්ම නිසි පරිදි අංක තහඩු සවිකර නොතිබූ යතුරුපැදි මේ අතර වේ. මීට අමතරව, යතුරුපැදියේ ආලෝක රටා වෙනස් කරමින් අනතුරුදායක කොටස් එක් කර සකස් කරන ලද යතුරුපැදි ද මෙලෙස පොලිස් අත්අඩංගුවට පත්ව තිබේ.

මෙම වැටලීමේදී අත්අඩංගුවට ගත් සැකකරුවන් සම්බන්ධයෙන් සිදුකළ විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ ඔවුන් අතුරින් පස් දෙනෙකුටම ධාවනය සඳහා වලංගු රියදුරු බලපත්‍ර පවා නොමැති බවයි.




පොලිස් අත්අඩංගුවට පත් මෙම සැකකරුවන් පිරිස ලබන 22 වැනිදා හෝමාගම මහේස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට නියමිතව ඇත.