පසුගිය දිනවල සමාජ මාධ්‍ය ඔස්සේ සැරිසැරූ වීඩියෝවකින්ද නිරූපණය කළ පරිදි මාලබේ නගරයේ සංවිධානය කර තිබූ පොසොන් බත් දන්සැලක් අසලදී තරුණයකුට සාහසික ලෙස පහරදීමේ සිද්ධියට සම්බන්ධ නව යොවුන් වියේ පසුවන සැකකරුවන් පස්දෙනෙකු මාලබේ පොලිස් නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ. වයස අවුරුදු 16 සහ 17 යන වයස් කාණ්ඩවල පසුවන මොවුන් කොතලාවල ප්‍රදේශයේ පට්ටියවත්ත පාරේ පදිංචිකරුවන් බව පොලිසිය පවසයි.
මෙම දරුණු පහරදීම සිදුව ඇත්තේ දන්සැලේ පෝලිමේ රැඳී සිටීම සම්බන්ධයෙන් ඇති වූ බහින්බස් වීමක් දුරදිග යාමෙනි.පොලිස් විමර්ශනවලට අනුව, දන්සැල් පෝලිමේ රැඳී සිටි අදාළ තරුණයා, පෝලිම කඩාගෙන තමන්ට ඉදිරියෙන් ඇතුළු වීමට උත්සාහ කළ පුද්ගලයන් දෙදෙනෙකුට පෝලිමේ පිටුපසට යන ලෙස ප්‍රකාශ කර ඇත. එම දැනුම් දීමත් සමඟ කෝපයට පත් පිරිසක් විසින් ආරක්ෂක හිස්වැසුම්වලින් මෙන්ම අතින් පයින් ද අදාළ තරුණයාට දරුණු ලෙස පහරදී තිබේ. මෙම පහරදීම සිදුවන ආකාරය දැක්වෙන දර්ශන ඇතුළත් වීඩියෝවක් සමාජ මාධ්‍ය ජාලාවල දැඩි ලෙස සංසරණය වූ අතර, ඒ ඔස්සේ සමාජය තුළ විශාල කතාබහක් සහ කැලඹීමක් ද නිර්මාණය විය.
සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය වූ මෙම වීඩියෝ පටය සහ සිද්ධිය සම්බන්ධයෙන් පොලිසියට ලැබුණු පැමිණිල්ලක් පදනම් කර ගනිමින් මාලබේ පොලිසිය වහාම විමර්ශන කටයුතු ආරම්භ කර තිබිණි. ඒ අනුව සිදුකළ පුළුල් සෙවීම්වලින් අනතුරුව මෙම සැකකරුවන් පස්දෙනා කොටුකර ගැනීමට පොලිස් නිලධාරීන්ට හැකි වී ඇත. අත්අඩංගුවට ගත් සැකකාර තරුණයන් පිරිස අද (1) දින කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතව ඇති අතර, මෙම පහරදීමට සම්බන්ධ සෙසු පුද්ගලයන් ද අත්අඩංගුවට ගැනීම සඳහා මාලබේ පොලිසිය මේ වන විටත් වැඩිදුර විමර්ශන මෙහෙයවමින් සිටියි.