කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළෙන් ගුවන්ගත වූ විගස කුරුල්ලෙකු ගැටීමේ සිදුවීමකට මුහුණ දුන් ටර්කිෂ් එයාර්ලයින්ස් (Turkish Airlines) සමාගමට අයත් ගුවන් යානයක් ශ්‍රී ලංකාවේ බස්නාහිර වෙරළ තීරයට ඔබ්බෙන් වූ ගුවන් කලාපයේ තවදුරටත් රඳවා තබමින් පියාසර කරවීමට පියවර ගෙන තිබෙනවා. 2026 ජූලි 11 වන දින පෙ.ව.
9:59 ට ලැබුණු තොරතුරුවලට අනුව, ඉස්තාන්බුල් බලා ගමන් කිරීමට නියමිතව තිබූ එයාර්බස් A330-300 වර්ගයට අයත් TK731 දරන මෙම ගුවන් යානය, නැවත බණ්ඩාරනායක ගුවන් තොටුපළ වෙත ගොඩබැස්වීමට පෙර ආරක්ෂිත පියවරක් ලෙස මීගමුව කලපුව ආශ්‍රිත ප්‍රදේශයට ඉහළින් පැය දෙකකට අධික කාලයක් තිස්සේ මෙලෙස වටරවුම් ආකාරයෙන් පියාසර කරමින් පවතිනවා.මෙම ගුවන් යානය සතුව ඉන්ධන ගුවනේදීම බැහැර කිරීමේ විශේෂ පද්ධතියක් (fuel jettison system) නොමැති වීම හේතුවෙන්, ගොඩබැසීමට අවශ්‍ය බර ප්‍රමාණය අඩු කරගැනීම සඳහා මෙලෙස ඉන්ධන දහනය කරමින් පවතින බව ශ්‍රී ලංකා සිවිල් ගුවන් සේවා අධිකාරිය පවසනවා. කෙසේ වෙතත්, යානයේ පාලනය සම්පූර්ණයෙන්ම පවතින අතර එහි සිටින සියලුම මගීන් සහ කාර්ය මණ්ඩලය ආරක්ෂිතව පසුවන බව බලධාරීන් ප්‍රකාශ කර සිටිනවා.
මෙම පූර්වාරක්ෂිත ගොඩබැසීම සඳහා අනුගමනය කරනු ලබන සම්මත මෙහෙයුම් ක්‍රියා පටිපාටියට අනුව ගුවන් තොටුපළ හදිසි අනතුරු සේවා අංශ ද මේ වන විට සූදානම් මට්ටමින් තබා තිබෙනවා. මේ අතර, මෙම සිදුවීමත් සමඟ ලොව පුරා බොහෝ පිරිසක් Flightradar24 වෙබ් අඩවිය ඔස්සේ මෙම ගුවන් යානයේ ගමන් මඟ අඛණ්ඩව නිරීක්ෂණය කරමින් සිටින අතර, ඒ හේතුවෙන් එය මේ වන විට ලොව පුරා වැඩිම පිරිසක් නිරීක්ෂණය කරන ගුවන් යානය බවට ද පත්ව තිබෙනවා.