sajith-is-going-to-unite-the-opposition

අගවිනිසුරුවරයා ඇතුළු උපරිමාධිකරණ විනිසුරුවරුන්ගේ විශ්‍රාම යෑමේ වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීම සඳහා ආණ්ඩුව සූදානම් වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට එරෙහිව සමස්ත විපක්ෂයේ බලමුළු ඒකාබද්ධ කිරීමේ විශේෂ වැඩපිළිවෙළක් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා විසින් ආරම්භ කර තිබේ. අධිකරණයේ ස්වාධීනත්වයට එල්ල වන මෙම තර්ජනයට එරෙහිව පාර්ලිමේන්තුව නියෝජනය කරන සියලු විපක්ෂ දේශපාලන පක්ෂ නායකයන් එකමුතු කරගනිමින් සාකච්ඡාවක් පැවැත්වීමට විපක්ෂ නායකවරයා පියවර ගත්තේය.

මෙම තීරණය ගැනීමට පෙරත් ශ්‍රී ලංකා නීතිඥ සංගමය, ආසියානු හා පොදුරාජ්‍ය මණ්ඩලීය නීතිඥ සංගම්, දිසා හා මහෙස්ත්‍රාත් අධිකරණ නීතිඥ සංගම් මෙන්ම අධිකරණ සේවා සංගමය ද ආණ්ඩුවේ මෙම ක්‍රියාමාර්ගයට එරෙහිව ප්‍රසිද්ධියේ සිය විරෝධය පළ කර තිබිණි.




මෙම සංවාදය සඳහා පාර්ලිමේන්තුව නියෝජනය නොකරන පක්ෂ හා සංවිධාන ද එකතු කරගන්නා ලෙස පොහොට්ටුවේ ජාතික සංවිධායක නාමල් රාජපක්ෂ මහතා ලිපියක් මගින් කළ ඉල්ලීමට යහපත් ප්‍රතිචාර දැක්වූ සජිත් ප්‍රේමදාස මහතා, විපක්ෂයේ සියලු පාර්ශ්වයන්ට ආරාධනා කිරීමට කටයුතු කළේය. ඒ අනුව හිටපු ජනාධිපතිවරුන් වන රනිල් වික්‍රමසිංහ සහ මෛත්‍රීපාල සිරිසේන යන මහත්වරුන් ඇතුළු සියලුම විපක්ෂ පක්ෂ නායකයන් වෙත විපක්ෂ නායක කාර්යාලයේ පැවැත්වෙන විශේෂ හමුව සඳහා පෞද්ගලිකවම ආරාධනා කෙරිණි.

කෙසේ වෙතත්, මෙම හමුව විපක්ෂ නායක කාර්යාලයේ පැවැත්වීම සම්බන්ධයෙන් ඇතැම් පාර්ශ්ව වෙතින් අදහස් ඉදිරිපත් වූ අතර, පොදු හෝටලයක වැනි වෙනත් ස්ථානයක එය පැවැත්වීමට ද යෝජනා විය. එහෙත් විපක්ෂ නායක කාර්යාලය යනු පෞද්ගලික ස්ථානයක් නොව විපක්ෂයේ සියලු දෙනාට අයිති පොදු රජයේ දේපළක් බවත්, එවැනි සාකච්ඡාවක් සඳහා වඩාත්ම සුදුසු ස්ථානය එය බවත් පවසමින් සජිත් ප්‍රේමදාස මහතා සිය ස්ථාවරයේ දැඩිව පෙනී සිටියේය. හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ද මැදිහත් වෙමින්, විපක්ෂ නායක කාර්යාලයේදී එකතු වී සාකච්ඡා කිරීම හරහා ආණ්ඩුවට ප්‍රබල පණිවුඩයක් දිය හැකි බව පෙන්වා දෙමින් එම මතභේදය නිරාකරණය කිරීමට සහාය විය.




පසුගිය බ්‍රහස්පතින්දා පැවැති මෙම හමුවට පැමිණි නායකයන් විපක්ෂ නායකවරයා විසින්ම ප්‍රධාන දොරටුව අසලදී උණුසුම් ලෙස පිළිගන්නා ලදී. එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ, දිනේෂ් ගුණවර්ධන, රවුෆ් හකීම්, නාමල් රාජපක්ෂ, රවි කරුණානායක, ගජේන්ද්‍රකුමාර් පොන්නම්බලම්, මනෝ ගනේෂන්, ජී.එල්. පීරිස්, පලනි දිගම්බරම්, ආරුමුගම් තොණ්ඩමන්, පාඨලී චම්පික රණවක, අසංක නවරත්න, චාමර සම්පත් දසනායක, නිමල් සිරිපාල ද සිල්වා, දිලිත් ජයවීර, විමල් වීරවංශ, උදය ගම්මන්පිල, මහින්ද අමරවීර, ටිරාන් අලස්, මෛත්‍රී ගුණරත්න ඇතුළු පිරිසක් ඊට එක්ව සිටියහ. ප්‍රධාන ආසන පැනවීම සම්බන්ධයෙන් මුලින් තීරණය කර තිබූ පරිදි හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට පොළොන්නරුවේ පැවැති පින්කමකට සහභාගි වීමට සිදු වූ බැවින් එම ආසනය සජබ මහලේකම් රංජිත් මද්දුමබණ්ඩාර මහතාට හිමි විය. ආරාධිතයන් සඳහා ප්‍රමුඛ පෙළේ හෝටලයකින් විශේෂ සංග්‍රහයක් ද සූදානම් කර තිබිණි.

අධිකරණයේ ස්වාධීනත්වය සුරැකීම මුලික කරගනිමින් පැවැති නිල සාකච්ඡාවේදී අදහස් දැක්වූ සජිත් ප්‍රේමදාස මහතා, දේශපාලන මතවාද කුමක් වුවත් ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් විපක්ෂය එකට සිටගත යුතු බව අවධාරණය කළේය. හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ද පෙන්වා දුන්නේ මෙම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට එරෙහිව මහා සංඝරත්නය, සිවිල් සංවිධාන සහ නීතිඥ ප්‍රජාව නැගී සිටින පසුබිමක විපක්ෂය දැවැන්ත විරෝධයක් ගොඩනැගිය යුතු බවයි. සාකච්ඡාව අතරතුර නාමල් රාජපක්ෂ මහතා වෙනත් රාජකාරියක් සඳහා පිටත්ව ගිය අතර, පොහොට්ටුව වෙනුවෙන් එහි මහලේකම් සාගර කාරියවසම් මහතා අදහස් දැක්වීය.



ආණ්ඩුවේ උත්සාහයට එරෙහිව කොළඹදී දැවැන්ත විරෝධතා පාගමන්, පාර්ලිමේන්තු ක්‍රියාමාර්ග සහ ඒකාබද්ධ රැස්වීම් පැවැත්වීම පිළිබඳව විවිධ යෝජනා ඉදිරිපත් වුවද, එහිදී අවසන් තීරණයක් ගනු ලැබුවේ නැත. නිල හමුවෙන් පසු පැවැති තේ පැන් සංග්‍රහයේදී නායකයන් අතර පැවැතියේ ඉතා සැහැල්ලු වාතාවරණයකි. හිටපු අගමැති දිනේෂ් ගුණවර්ධන මහතා සමඟ සුහදව කතාබහ කළ සජිත් ප්‍රේමදාස මහතා, සජබය ද සමාජ ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රතිපත්තිය අනුගමනය කරන බැවින් ඉදිරියේදී එකතු වී දේශපාලනය කිරීමට ආරාධනා කරමින් විහිළු තහළුවක ද නිරත විය. සියලු දෙනාගේම එකඟතාව මත ඉදිරි ක්‍රියාමාර්ග තීරණය කිරීමේ බලය විපක්ෂ නායකවරයා වෙත පැවරීමට එහිදී තීරණය කෙරිණි.

විපක්ෂය මෙලෙස සංවිධානය වෙමින් සිටියද, විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමේ යෝජනාව පසුපසට නොගෙන ඉදිරියටම ගෙන යාමට ආණ්ඩුව තීරණය කර ඇත. විපක්ෂයේ විරෝධතා හමුවේ පසුබට නොවී මෙම සංශෝධනය කඩිනමින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර සම්මත කරගැනීමේ ස්ථාවරයේ පසුවන ආණ්ඩුව, ඊට අදාළ සංකල්ප පත්‍රිකාව පසුගිය සතියේ අමාත්‍ය මණ්ඩලය වෙත ඉදිරිපත් කර අනුමැතිය ද ලබාගෙන තිබේ.

gossiplanka image 1
gossiplanka image 2