ශ්‍රී ලංකා ජාතික පුස්තකාල හා ප්‍රලේඛන සේවා මණ්ඩලයේ සභාපති තනතුරෙන් ඉල්ලා අස්වීමට ආචාර්ය රත්න ශ්‍රී විජේසිංහ මහතා තීරණය කර තිබේ. කායික වෙහෙස සහ පෞද්ගලික විවේකය අවශ්‍ය වීම මෙම තීරණයට හේතු වූ බවත්, ජනාධිපතිවරයා මෙන්ම වත්මන් රජය කෙරෙහි පැවති විශ්වාසය සහ ගෞරවය කිසිදු අයුරකින් වෙනස් වී නොමැති බවත් ඒ මහතා පවසයි.
2024 දෙසැම්බර් 16 වන දින මෙම ධුරයට පත් වූ ඒ මහතා වසරකුත් මාස හතක කාලයක් අඛණ්ඩව සිය සේවය ඉටු කර ඇති අතර, පවතින කායික වෙහෙස තවදුරටත් දරාගැනීමට අපහසු වීම හේතුවෙන් හෙට (01) සිට ක්‍රියාත්මක වන පරිදි මෙසේ ධුරයෙන් ඉවත් වීමට තීරණය කර ඇත. තමාගේ ඉල්ලා අස්වීමට පෞද්ගලික හේතූන් හැර වෙනත් කිසිදු බාහිර කරුණක් බලපා නොමැති බව විශේෂ ප්‍රකාශයක් කරමින් හෙතෙම අවධාරණය කළේය.
වයස්ගත වීමත් සමඟ කායික ශක්තිය අඩුවීම ස්වාභාවික බවත්, පසුගිය කාලසීමාව තුළ තම නිර්මාණශීලී ලේඛන හා කාව්‍යකරණ කටයුතු අඩපණ වූ බැවින් ඉදිරියේදී ඒ සඳහා විවේකය අවශ්‍ය බවත් ඒ මහතා පෙන්වා දෙයි. ඉදිරියේදී වැඩි ධාරිතාවකින් සහ ශක්තියකින් යුතු පත්වන නව සභාපතිවරයාට සහාය වීමට තමා සූදානමින් සිටින බව ද හෙතෙම පැවසීය.
රජය ඉදිරියට ගෙන යන දැවැන්ත වැඩපිළිවෙළ සඳහා ඈත සිට හෝ සිය සුබපැතුම් පිරිනමන බව සඳහන් කළ ආචාර්ය රත්න ශ්‍රී විජේසිංහ මහතා, අවශ්‍ය ඕනෑම අවස්ථාවක ආයතනයට, රටට සහ රජයට තම ශක්ති ප්‍රමාණයෙන් සහාය ලබාදීමට පසුබට නොවන බව ද වැඩිදුරටත් කියා සිටියේය.