පානීය ජල බෝතල් කිරීමේ නීත්‍යානුකූල ව්‍යාපාරයක මුවාවෙන් කඩුවෙල, සුදර්ශන මාවත ප්‍රදේශයේ පවත්වාගෙන ගිය මහා පරිමාණ නීතිවිරෝධී මත්පැන් නිෂ්පාදනාගාරයක් වටලා සැකකරුවන් හයදෙනෙකු අත්අඩංගුවට ගැනීමට බස්නාහිර පළාත් උතුරු අපරාධ කොට්ඨාසයේ නිලධාරීහු සමත්ව සිටිති. ඉකුත් සෙනසුරාදා දින සිදුකළ මෙම විශේෂ වැටලීම සඳහා පොලිස් නිලධාරීන්ට ලැබුණු රහසිගත බුද්ධි තොරතුරක් පාදක වී ඇත.
නීත්‍යානුකූල ජල ව්‍යාපාරයක් ලෙස බාහිර ලෝකයට පෙන්වමින් ඉතා සූක්ෂ්ම සහ රහසිගත අන්දමින් මෙම මත්පැන් ජාවාරම මෙහෙයවා ඇති බව පොලිස් පරීක්ෂණවලදී අනාවරණය වී තිබේ.මෙම සාර්ථක වැටලීමේදී පොලිස් භාරයට ගත් නීතිවිරෝධී මත්පැන් තොගයට මිලිලීටර් 180 ධාරිතාවයෙන් යුත් දේශීයව නිෂ්පාදිත මත්පැන් බෝතල් 18,575ක් ඇතුළත් වන අතර එහි සමස්ත මත්පැන් ප්‍රමාණය ලීටර් 3,345.5ක් ලෙස සටහන් වේ. ඊට අමතරව විදේශීය මත්පැන් ලෙස ලේබල් අලවන ලද ලීටරයේ ප්‍රමාණයේ බෝතල් හතරක් සහ මිලිලීටර් 750ක එක් බෝතලයක් ද නිලධාරීන් විසින් සොයාගෙන ඇත. මත්පැන් පෙරීම සඳහා භාවිත කළ උපකරණ කට්ටලයක්, එතනෝල් අඩංගු බවට සැකකෙරෙන බෝතලයක් සහ කේරළ ගංජා ග්‍රෑම් 50යි මිලිග්‍රෑම් 200ක ප්‍රමාණයක් ද වැටලීම සිදුකළ ස්ථානයේ තිබී අත්අඩංගුවට ගත් භාණ්ඩ අතර වෙයි.
පොලිස් දැලට හසුවූ සැකකරුවන් හයදෙනා අවුරුදු 30, 43, 58, 59 සහ 62 යන වයස් සීමාවල පසුවන පුද්ගලයන් වන අතර ඔවුන් මරදාන, වත්තල, මිහින්තලේ, දකුණු වේබඩ, සිප්පිකුලම සහ ගෙටලාව යන ප්‍රදේශවල පදිංචිකරුවෝ වෙති. වාණිජ මට්ටමින් අතිවිශාල ලෙස පවත්වාගෙන ගිය මෙම ජාවාරම හරහා නීතිවිරෝධී ලෙස සකස් කළ මත්පැන් දිවයිනේ සෙසු ප්‍රදේශ කරා ද බෙදාහැර තිබේද යන්න පිළිබඳව බස්නාහිර පළාත් උතුරු අපරාධ කොට්ඨාසය මේ වන විට වැඩිදුර විමර්ශන කටයුතු පුළුල් කර ඇත.