gamini-samarakoon-bids-farewell

ශ්‍රී ලාංකීය කලා ක්ෂේත්‍රයට අනුපමේය සේවාවක් ඉටුකළ ප්‍රවීණ රංගන ශිල්පියෙකු වන ගාමිණී සමරකෝන් මහතා අභාවප්‍රාප්ත වී තිබේ. දශක ගණනාවක් මුළුල්ලේ වේදිකාව, සිනමාව සහ ටෙලිනාට්‍ය ක්ෂේත්‍රය ඔස්සේ ප්‍රේක්ෂක හදවත් දිනාගත් ඒ මහතා, "තාරාවෝ ඉගිලෙති" වේදිකා නාට්‍යයේ එන "සෝබාව දේ මෙපුර – සිරි විසිතුරු" යන සදාකාලික ජනප්‍රිය ගීතය හරහා රසික මතකය තුළ නොමැකෙන සලකුණක් තැබූ කලාකරුවෙකි.




වේදිකා නාට්‍ය කලාව තුළ අතිශය කැපී පෙනෙන රංගන ප්‍රතිභාවක් මතු කළ සමරකෝන් මහතා වඩාත්ම ජනප්‍රියත්වයට පත්වූයේ මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍රයන්ගේ සර්වකාලීන නිර්මාණයක් වන ‘මනමේ’ නාට්‍යයේ මනමේ කුමාරයාගේ චරිතයට පණ පෙවීමෙනි. සිය රංගන කෞශල්‍යය වේදිකාවට පමණක් සීමා නොකළ ඔහු සිනමාව සහ පුංචි තිරය තුළ ද එකලෙස දස්කම් දක්වමින් රසික ආකර්ෂණය දිනා ගැනීමට සමත් විය. රංගනයට අමතරව ඔහු දක්ෂ උඩරට නර්තන ශිල්පියෙකු ලෙස ද ක්ෂේත්‍රය තුළ නමක් දිනා සිටියේය.

ඔහුගේ දීර්ඝ කලා ජීවිතය දෙස හැරී බැලීමේදී, මනමේ සහ තාරාවෝ ඉගිලෙති හැරුණුකොට නරි බෑනා, කදාවළලු, සක්කාය දිට්ඨි, අඹු සැමියෝ, දේශපාලුවා, විශේෂ කොමසාරිස්, උතුරේ රාහුල, මධුර ජවනිකා, පොකුරු වැස්ස සහ අසාත මන්තරේ වැනි ප්‍රකට වේදිකා නාට්‍ය රැසකට ඔහු සිය රංගන දායකත්වය සපයා ඇත. එමෙන්ම රිදී තිරය හැඩකළ ගේ කුරුල්ලෝ, මලට නොඑන බඹරු, මුහුදු ලිහිණි, අළු යට ගිනි, භේරුණ්ඩ පක්ෂියා, ඩොරින්ගේ සයනය, ඉර සේවය මෙන්ම සුදු අප්පච්චි වැනි චිත්‍රපට ද ඔහුගේ සිනමා රංගන ප්‍රතිභාව විදහා දැක්වූ නිර්මාණ අතර ප්‍රධාන වේ.




පුංචි තිරයේ ප්‍රේක්ෂකයන් අතර බෙහෙවින් ජනප්‍රිය වූ රන්මසු උයන, එක මවකගෙ දරුවෝ, තාරා දේවි, ගම්පෙරළිය, නිදිකුම්බා මල්, කුමාරයාණෙනි, බැද්දෙ සෙනෙහස, ගල් පිලිම සහ බොල් පිළිම මෙන්ම කැලෑහඳ වැනි ටෙලිනාට්‍ය රැසක ද ඔහු විවිධ චරිත නිරූපණය කරමින් දායක වී තිබේ. කලාකරුවෙකු වීමට අමතරව සිය වෘත්තීය ජීවිතයේ මුල් භාගයේදී කෙටි කාලයක් හැටන් පොලිසියේ සේවය කර ඇති ගාමිණී සමරකෝන් මහතා, කොළඹ වෙස්ලි විදුහලේ ගුරුවරයෙකු ලෙස ද සේවය කරමින් දද කැලට සිප්සතර කියාදුන් ආදර්ශමත් චරිතයකි.

gamini-samarakoon-bids-farewell