former-minister-sm-chandrasena-indicted

අනුරාධපුර දිස්ත්‍රික්කයේ දිළිඳු ගොවීන්ට බෙදාදීම සඳහා රජයේ ප්‍රතිපාදන යටතේ මෙරටට ගෙන්වන ලද බීජ බඩඉරිඟු තොගයක් වංචනික ලෙස සිය හිතවතුන් අතර බෙදා හැරීමේ දූෂණ චෝදනාවකට ලක්ව සිටින හිටපු අමාත්‍ය එස්.එම්. චන්ද්‍රසේන මහතා වෙත කොළඹ මහාධිකරණය විසින් අද (02) අධි චෝදනා භාර දෙනු ලැබීය.

හිටපු ආර්ථික නියෝජ්‍ය අමාත්‍යවරයෙකු මෙන්ම විශේෂ ව්‍යාපෘති අමාත්‍යවරයෙකු ද වන ඒ මහතාට මෙලෙස අධි චෝදනා පත්‍ර භාර දීමෙන් අනතුරුව, දැඩි ඇප කොන්දේසි මත මුදා හැරීමට අධිකරණය නියෝග කළේය.




මහාධිකරණ විනිසුරු රවින්ද්‍ර ප්‍රේමරත්න මහතා විසින් නියෝග කරනු ලැබුවේ විත්තිකාර හිටපු අමාත්‍යවරයාව රුපියල් පනස්දහසක මුදල් ඇපයක් සහ රුපියල් ලක්ෂ දහය බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හරින ලෙසයි.

මෙම නඩුවට පාදක වී ඇත්තේ 2014 වසරේ ජනවාරි 01 වැනිදා සිට දෙසැම්බර් 31 වැනිදා දක්වා වූ කාලසීමාව තුළ අනුරාධපුර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ ක්‍රම සම්පාදන අධ්‍යක්ෂවරයා ඇතුළු රාජ්‍ය නිලධාරීන්ට බලපෑම් කරමින්, රජයේ වියදමින් ආනයනය කළ බීජ බඩඉරිඟු කිලෝග්‍රෑම් 36,000ක් නීති විරෝධී ලෙස සිය හිතවතුන් අතර බෙදා හැරීමයි. අල්ලස් පනතේ 70 වැනි වගන්තිය යටතේ දඬුවම් ලැබිය යුතු වරදක් සිදුකර ඇති බව දක්වමින් අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව විසින් පසුගිය ජූනි මස 12 වැනිදා කොළඹ මහාධිකරණය හමුවේ මෙම නඩුව පවරා තිබුණේ අධි චෝදනා දෙකක් යටතේය.




මෙම දූෂණ ක්‍රියාව සම්බන්ධයෙන් හිටපු අමාත්‍යවරයාව පසුගිය වසරේ ජූලි මස 04 වැනිදා අල්ලස් කොමිසම මඟින් අත්අඩංගුවට ගනු ලැබූ අතර, කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රක්ෂිත බන්ධනාගාරගත කර සිටියේය. පසුව එම වසරේම අගෝස්තු මස 01 වැනිදා ඔහු මහේස්ත්‍රාත් අධිකරණයෙන් ඇප මත මුදා හැරුණු අතර, අද දින මහාධිකරණය හමුවේ අධි චෝදනා ලැබූ මෙම නඩුව ලබන ජූලි මස 22 වැනිදා නැවත කැඳවීමට නියමිතව ඇත.